"කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා"

කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් ඉඩකඩ තිබුණා - ඇමෙරිකානු නියෝජිතයා පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය, කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් ඉඩකඩ තිබුණා - ඇමෙරිකානු නියෝජිතයා පවසයි
Published

මියන්මාරයේ නිලනොලත් නායිකාව වන අවුන් සාං සුචි සදාචාරාත්මක ගුණයෙන් පිරිහුණ නායිකාවක් යයි ඇයගේ දිගුකාලීන මිතුරකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන බිල් රිචඩ්සන් පවසයි.

රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව තුළ නියෝජනය වූ බිල් රිචඩ්සන් ඉහත කී ප්‍රකාශය කරමින් එම පදවියෙන් ද ඉවත්වී ඇත.

අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව "සුදු හුණු ගෑමක්" ලෙස විග්‍රහ කරන බිල් රිචඩ්සන් සිය දිගුකාලීන මිතුරියගේ නායකත්ව ගුණය ප්‍රශ්න කරයි.

ඊට ප්‍රතිචාරය පළ කරන මියන්මාරය ඉහත කී පෞද්ගලික ප්‍රහාරය එල්ල කරනු ලැබීම සම්බන්ධයෙන් "බිල් රිචඩ්සන් ඔහු විසින් ඔහුම අධීක්ෂණයට ලක් කර ගත යුතුව ඇතැයි" කියා සිටියේය.

බෞද්ධ රාජයයක් වන මියන්මාරයේ යුද හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ 650,000 කට අධික රෝහින්ග්‍යාවරුන් පසුගිය වසරේ අසල්වැසි බංග්ලාදේශයට පළාගොස් එහි අනාථ කඳවුරුවල වෙසෙති.

එම රෝහින්ග්‍යාවරුන්ගෙන් වැඩිදෙනා මුස්ලිම්වරු වෙති.

වසර දෙකක කාලයක් ඇතුළත එම රෝහින්ග්‍යා අනාථයන් ආපසු මියන්මාරයට යැවීම බංග්ලාදේශ් ආණ්ඩුවේ සැලැස්ම වෙයි.

ඇමෙරිකානු නියෝජිත බිල් රිචඩ්සන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු නියෝජිත බිල් රිචඩ්සන්

රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනකු සම්බන්ධයෙන් මියන්මාරයේ සිදු කෙරෙන නඩු විභාග පිළිබඳව තමා අවුන් සාං සුකීගෙන් කරුණු විමසූ විට ඇය කෝපාවිෂ්ඨ වූ බවත් බිල් රිචඩ්සන් පවසයි.

රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳව වාර්තා කරමින් සිටි එම රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව 'නිල රහස්‍යතා උල්ලංඝනය කරනු ලැබීම' සම්බන්ධයෙන් චෝදනා ගොනු කරනු ලැබ ඇත.

එම මාධ්‍යවේදීන් දෙදෙනා පිළිබඳව තමා සඳහන් කළ මොහොතේ අවුන් සාං සුචි කෝපයෙන් පුපුරා ගිය බව 'ද නිව්යෝර්ක් ටෛම්ස්' (the New York Times) පුවත්පතට අදහස් දක්වමින් බිල් රිචඩ්සන් ප්‍රකාශ කර ඇත.

"මාධ්‍යවේදීන් ගැන මතක් කළාම ඇයගේ මුහුණ ගැහෙන්න ගත්ත. මම කිට්ටුවකින් හිටියානම් ඈ මට ගහන්නත් ඉඩකඩ තිබුණා. ඇය පුදුමාකාර මට්ටමින් කෝපයට පත් වුණා" බිල් රිචඩ්සන් පවසයි.

බිල් ක්ලින්ටන් පාලනයේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බිල් රිචඩ්සන් දශක කීපයක කාලයක් අවුන් සාං සුකී හොඳින් දන්නා හඳුනන රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

චුදිත රොයිටර් මාධ්‍යවේදියෙක් අධිකරණය ඉදිරිපිටදී

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, චුදිත රොයිටර් මාධ්‍යවේදියෙක් අධිකරණය ඉදිරිපිටදී

බිල් රිචඩ්සන්, 1990 දශකයේ මියන්මාරයේ බලයේ පැවති යුද හමුදා පාලනය විසින් අවුන් සාං සුචි නිවාස සිර අඩස්සියේ තබා සිටියදී ඇය හමු වී සාකච්ඡා කළ අතර දෙදෙනා කිට්ටු මිතුරෝ වූහ.

මියන්මාර් ආණ්ඩුව පත් කර ඇති උපදේශක මණ්ඩලය ආණ්ඩුවට 'සුදු හුණු ගාන ආයතනයක්' වන හෙයින් එවැනි ආණ්ඩුවකට ආවඩන කල්ලියක සාමාජිකයකු වීමට තමාට අවශ්‍ය නැතැයි බිල් රිචඩ්සන් කියා සිටියි.

පුරවැසිභාවයට අදාළ දුෂ්කර ප්‍රශ්නය සාකච්ඡාවට ගනු ලැබීමේ දී තම අවංකභාවය ප්‍රශ්න කෙරුණ බවත් බිල් රිචඩ්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සබැඳි පුවත්;