අතුරුදහන්ව සිටි 'යෝ යෝ' යළි පැමිණෙයි

Yo Yo Honey Sing
ඡායාරූප ශීර්ෂ වැකිය, බටහිර සංගීතයට නැඹුරුවක් දක්වන ඉන්දීය යෞවන යෞවනියන්ගෙන් යෝ යෝට ඇත්තේ ඉහල ඉල්ලුමක්
Published

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කුඩා නගරයක තම සංගීත දිවිය ඇරඹු හිර්දේශ් සිං, බොලිවුඩ් තරුවක් බවට පත් වුණේ යෝ යෝ හනි සිං නමින්.

ඔහුගේ ජනප්‍රියත්වය හදිසියේ හමා ගිය කුණාටුවක් වැනියි.

බටහිර සංගීතයට නැඹුරුවක් දක්වන ඉන්දීය යෞවන යෞවනියන්ගෙන් යෝ යෝට ඇත්තේ ඉහල ඉල්ලුමක්.

යොවුන් හදවත් තදින් වැළඳ ගත්තත් බොහෝ විචාරකයන් ගෙන් ඔහුට දැඩි ප්‍රහාර එල්ල වෙයි.

ඉන්දීය සදාචාරයට සහ සභ්‍යත්වයට යෝ යෝ හානිකර බවයි විවේචකයන් පවසන්නේ.

ඔහුගේ ඇතැම් ගීතවලට තනා ඇති වීඩියෝ පට අඩ නිරුවත් දර්ශන වලින් සමන්විතයි.

Yo Yo Honey Sing

ඡායාරූප මූලාශ්‍රය, Rahul Joglekar

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් යෝ යෝ කියා සිටියේ තමන් ඇබ්බැහි වී සිටියේ මද්‍යසාරයට පමණක් බවයි

කෙසේ නමුත් යෝ යෝ හනි සිං හිටිවන ම සංගීත ක්‍ෂේත්‍රයෙන් අතුරුදහන් වී සිටියේය.

ඒ ගැන නොයෙකුත් කට කතා පැතිරෙන්නට විය.

යළිත් රසිකයන් අතරට පැමිණ සිටින යෝ යෝ සිය අතුරුදහන් වීමට හේතුව බීබීසීයට හෙළිදරව් කළේය.

'මිනිස්සු දැක්කම මට විශාල බියක් දැනුන. කළුවරට මම බය උනා. මට මොකද වෙන්නේ කියල මට හිතා ගන්න බැරි උනා. මම මගේ කාමරේ දොරගුළු දමා ගෙන අවුරුදු එකහමාරක් තනි වෙලා හිටියා. මගේ අම්ම තාත්ත දැක්කත් මට බය හිතුන. අවසානයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා.' යෝ යෝ පැවසීය.

අධික ලෙස මත් පැන් පානයට ඇබ්බැහි වීම නිසා තමන්ට මෙවැනි තත්වයක් උරුම වූ බවයි ඔහු පවසන්නේ.

යෝ යෝ හනි සිං මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි බවටත් පසුව පුනරුත්ථාපනය කරන්නට සිදු වූ බවටත් ඇතැම් වාර්තා පළ වී තිබිණි.

නමුත් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් යෝ යෝ කියා සිටියේ තමන් ඇබ්බැහි වී සිටියේ මද්‍යසාරයට පමණක් බවයි.