රස කැවිලි කඩ හිමිගේ සොහොයුරා කැවිලිවලට 'වස දමලා'

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
පසුගිය මාසයේ පන්ජාබ ප්‍රාන්තයේ කඩයකින් රස කැවිලි අනුභව කළ තිස් දෙනකු මියයාමට හේතුව කඩයේ හිමිකරුගේ සොහොයුරා විසින් රස කැවිලිවලට වස දැමීම බව හෙළි වී ඇතැයි පාකිස්තාන පොලීසිය පවසයි.
පවුලේ ආරවුලක් හේතුවෙන් රස කැවිලිවලට කෘමිනාශක මිශ්‍ර කළ බව, රස කැවිලි කඩයක හිමිකරු තරික් මොහමඩ් ගේ 18 හැවිරිදි සොහොයුරා පාපොච්ඡාරණය කළ බවයි පොලිසිය බීබීසී යට කියා සිටියේ.
"ඔහුගේ අයියා ඔහුට පහර දෙන බවත්, අතවර කරන බවත් ඔහු පොලිසියට කිවුවා," දිස්ත්‍රික්කයේ වැඩ බලන පොලිස් කොමසාරිස් රමීස් බොකාරි බීබීසී යට පැවසීය.
එබැවින් බාල සොහොයුරා "කෝපය සහ පළිගැනීමේ චේතනාවෙන්" වස මිශ්‍ර කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ නමුත් රස කැවිලිවලට වස මිශ්‍ර කළ බව තවත් දෙදෙනකුද පිළිගෙන ඇති බැවින්, සැබවින්ම සිදුවූයේ කවරක්ද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පවතින බවයි වාර්තාකරුවන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Ikram Paracha

ඡායාරූප මූලාශ්‍රය, Ikram Paracha
රස කැවිලි කඩයේ හිමිකරු සමඟ හටගත් ආරවුලක් හේතුවෙන් වස මිශ්‍ර කළ බව කෘමිනාශක කඩයක හිමිකරුද පොලිසියට පවසා ඇති අතර, අත්වැරදීමක් හේතුවෙන් ලඩ්ඩුවලට වස මිශ්‍ර වූ බව රස කැවිලි කඩයේ සේවකයකු පවසා තිබේ.
වස මිශ්‍ර රස කැවිලි අනුභව කළ පන්ජාබ් ප්‍රාන්තයේ 70 කට ආසන්න පිරිසක් රෝගී වී තිබේ.
පවුලට තවත් පිරිමි දරුවකු එකතුවීමේ ප්‍රීතිය භුක්ති විඳීම පිණිස ලඩ්ඩු නම් රස කැවිලි වර්ගය මිලදී ගත් එකම පවුලේ එකොලොස් දෙනකුද මියගිය තිස් දෙනා අතර සිටිති.
සැකකරුවන්ගෙන් බලහත්කාරයෙන් පාපොච්ඡාරණ ලබාගන්නා බවට මානව හිමිකම් සංවිධාන මීට ඉහතදී පාකිස්තාන බලධාරීන්ට චෝදනා කර තිබේ.



























