ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සැන්ඩියේගෝ රැළියටත් විරෝධතා
කැලිෆෝනියා වේ සැන්ඩියෙගෝ නගරයේ පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැළියකදී ඔහුට හිතවාදී සහ ප්‍රතිවාදී පිරිස් අතර ඇතිවූ ගැටුම් මැඩපැවැත්වීම පිණිස කැරළි මර්ධන පොලීසිය කැඳවා තිබුණි.
සැන්ඩියෙගෝ සමුළු ශාලාවෙන් පිටත රැස්වීම නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කළ පොලීසිය විසින් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර කලහකාරී පිරිස ගල් මුගුරු සහ වතුර බෝතල් වලින් දමා ගැසුහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙක්සිකෝ දේශ සීමාවට නුදුරු නගරයට ට්‍රම්ප් පැමිණියේ ජූනි 7 වැනිදා කලිෆොනියාවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වීමටයි.
අනවසර සංක්‍රමණිකයන් රටට ඇතුල්වීම වැළැක්වීම සඳහා මෙක්සිකෝවේ දේශසීමාව හරහා තාප්පයක් බැඳිය යුතු බවටයි තම ප්‍රචාරක රැළියක දී ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැළිය අවසන්ව පිරිස ශාලාවෙන් පිටතට පැමිණෙනවාත් සමග බහින්බස් වීමකින් සුළු ගැටුම් තත්වයක් ඇතිවූ අතර පසුව එය ට්‍රම්ප් ගේ හිතවාදීන් සහ ප්‍රතිවාදීන් අතර දරුණු ගැටුමක් බවට පත්විය.
කැරළි මර්ධන පොලිස් නිලධාරීහු ඔවුන් වෙන් කිරීමට මහත් වෙහෙසක් ගත් අතර ඇතැම් විරෝධතාකරුවන් පොලීසිය වෙත වතුර බෝතල් ප්‍රහාර එල්ල කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැන් ඩියෙගෝ ජනගහණයෙන් තුනෙන් එකක් පමණ ලතින් ඇමරිකානුවන් වනඅතර දහස් ගණන් පිරිස් දිනපතා මෙක්සිකෝ දේශ සීමාව හරහා නීත්‍යනුකුලව එහා මෙහා යති.
විරෝධතා පැවැත්වූ එක් අයෙකු පැවසුවේ තමා හඬ නගන්නේ සියළු ජාතීන්, සියළු ලින්ගිකත්වයන් සහ හමුදා සාමාජිකයන් ඇතුළු සැවොම වෙනුවෙන් බවයි.
තත්වය පාලනය කිරීමෙන් පසු ඩොනල්ඩ ට්‍රම්ප් පොලිස් නිලධාරියෙකු වෙත ට්විටර් පණිවුඩයක් යවමින් සඳහන් කර තිබුණේ "විශාල පිරිසක් සහභාගී වූ අපේ සාමකාමී රැළියට බාධා කිරීමට පැමිණි පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය ඉතා අගනා කාර්යභාරයක් කළ බව පවසමින්.





























