පොලීසිය සමග ගැටුමකින් ඉන්දියාවේ 24 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Vivek Jain
උතුරු ඉන්දියාවේ මතුරා නගරයේ පොලීසිය සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 24 දෙනෙකු පරුමුවට පත්වී තිබේ.
වසර දෙකක කාලයක් නගරයේ උද්‍යානයක් අත්පත්කරගෙන සිටි ආගමික කණ්ඩායමක හිටපු සාමාජිකයන් පිරිසක් ඉවත්කිරීමට පොලීසිය උත්සහ කරද්දීය ගැටුම හටගෙන ඇත්තේ.
මියගියවුන් අතර උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
කලහයට හේතුව පිලිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස උත්තර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය අඛිලේෂ් යදෙව් නියෝග කොට ඇත.
බ්‍රහස්පතින්දා සවස 5 ට පමණ ජවහර් බාග් උද්‍යානයට පොලීසිය ගියේ එය අත්පත්කරගෙන සිටින්නන් ඉවත්කිරීමට නිකුත්කළ අධිකරණ නියෝගයක් ද රැගෙන බවයි ඉන්දියාවේ පොලිස්පති ජාවෙඩ් අහමඩ් මාධ්‍යයට පැවසුවේ.
කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව විරෝධතාකරුවන් විසින් පොලීසිය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත්වී තිබේ. පොලීසිය වෙත ගල්මුල් ප්‍රහාර ද එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
තවත් පොලිස් කණ්ඩායමක් ස්ථානය වෙත යවා ඇත්තේ ඉන් පසුවයි. ඔවුන්ටද විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ලවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Vivek Jain
ඇතැම් විරෝධතාකරුවන් වෙඩි වැදී මියගිය අතර ඇතැමුන් ගැටුම හේතුවෙන් තුවාල ලැබූ බවයි පොලිස්පතිවරයා පවසන්නේ. අවමවශයෙන් 11 දෙනෙකු අහාර පිසීමට ගන්නා ගෑස් සිලින්ඩර පිපිරීමෙන් ඇතිවූ ගින්නට හසුවී මියගොස් තිබේ.
පසුව තත්වය පාලනය කිරීමට හැකිවූ නමුත් පුද්ගලයන් 300 වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි විශාල ප්‍රමාණයක් හමුවූ බවයි පොලිස්පති යාදෙව් ප්‍රකාශ කළේ.
ආගමික නායකයෙකු වන ගුරු බාබා ජායි ගුරුදේව් අනුගමනය කරමින් සිටි කණ්ඩායමක් මෑතකදී 'විප්ලවවාදීන්' නමින් හඳුන්වාගනිමින් ඉන්දියානු නිදහස් සටනේ වීරයකු වන සුබාස් චන්ද්‍රබෝස් ගේ අනුගාමිකයන් බවට පත්වී අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ඉන්දියානු ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.
අගමැති සහ ජනාධිපති යන තනතුරු අහෝසි කරන ලෙස ඉල්ලන ඔවුහු පෙට්‍රල් ලීටර 40 ක් රුපියලට අලෙවිකරණ ලෙසයි බල කරන්නේ.




























