ත්‍රස්ත තර්ජන සහ වර්ජන මැද 'යූරෝ 2016' ඇරඹෙයි

French soldiers pass uncollected rubbish in Paris, 9 June

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශය 'යූරෝ 2016' තරගාවලියට සැරසෙන්නේ ආරක්ෂාව සහ වැඩ වර්ජන අභියෝගයකට මුහුණ දී සිටින අතරයි.
Published

'යූරෝ 2016' පාපන්දු කුසලාන තරඟාවලිය පැවැත්වෙන කාලය තුළ එය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ගනු ලබන වෘතීය ක්‍රියාමාර්ග සහ වැඩ වර්ජන මැඩලීමට ක්‍රියාකරන බව ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලන්ද් අනතුරු අඟවයි.

ප්‍රංශ කම්කරු නීතියට හඳුන්වා දෙනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉතා නොසන්සුන් බවට පත් වූ කම්කරුවන් පසුගිය වකවානුව තුළ ඉතා දැඩි වර්ජන සහ වෘතීය ක්‍රියාමාර්ග වල නියැලෙනු දක්නට ලැබුණි.

'යූරෝ 2016' පාපන්දු කුසලාන තරඟාවලියේ ප්‍රංශය සහ රුමේනියාව අතර පළමු තරඟය පැවැත්වෙන ශාන්ත ඩෙනිස් හි දුම්රිය සේවය නවතා දමනින් වර්ජනයක යෙදෙන බවට ප්‍රංශ දුම්රිය රියදුරු සංගමය අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

මේ අතර ප්‍රංශයේ මාර්සෙල් නගරයේ තබෑරුමක් ඉදිරිපිට එංගලන්ත ජාතික ක්‍රීඩා ලෝලීන් දෙදෙනකු අතර හටගත් ගැටුමක් මැඩ පැවැත්වීමට කැරලි මැඩලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් යෙදවීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ අතර කඳුළු ගෑස් ප්‍රහාරයක් පවා දියත් කළ බවයි පැවසෙන්නේ.

ගැටුමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එළඹෙන සෙනසුරාදා මාර්සෙල් නගරයේ එංගලන්තය සහ රුසියාව අතර තරඟය පැවැත්වීමට නියමිතයි.

Euro 2016 host venues
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශය පුරා පිහිටා තිබෙන ක්‍රීඩාංගන දහයකදී යූරෝ 2016 පාපන්දු තරග පැවැත්වීමට ප්‍රංශ රජය කටයුතු සුදානම් කර තිබේ.
Thousands attended a concert by DJ David Guetta on Thursday 9 June

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යූරෝ 2016 වෙනුවෙන් පැරිස් නුවරදී පැවති සංගීත සංදර්ශනයට ලොව පුරා ක්‍රීඩා ලෝලීහු රැසක් සහභාගී වූහ.

'අසාමාන්‍ය තත්වයක්'

පැරීසිය සහ ප්‍රංශයේ අනෙකුත් ප්‍රධාන නගර වල කැලිකසල ගොඩගැසී තිබෙන අයුරු දැක ගත හැකි අතර වීදි වල දැඩි දුර්ගන්ධයක් පැතිරෙමින් පවතින බවයි පාපන්දු කුසලානය නැරඹීමට ප්‍රංශයට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පවසන්නේ.

මෙයට හේතු වී ඇත්තේ කම්කරු ප්‍රතිසංස්කරණ වලට එරෙහි කම්කරුවන් කැලිකසල ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් වැඩ වර්ජනයක නිරත වීම සහ කුණුකසල පුළුස්සන උදුන් පාවිච්චි කිරීම අවහිර කර තිබීමයි.

ඊට මතරව පසුගිය වසරේ ප්‍රංශයට එල්ල කෙරුණු දැඩි ත්‍රස්ත ප්‍රහාර හමුවේ රටේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් පැවරී තිබේ. ඒ අනුව පැරිස් නුවර සහ තරග පැවැත්වෙන අනිකුත් නගර වල ආරක්ෂක මට්ටම ඉතා ඉහළ තත්වයකින් පවත්වා ගැනීමට අතිරේක බට කණ්ඩායම් යොදවා ඇත.

තරග පැවැත්වෙන ක්‍රීඩාපිටි සහ ක්‍රීඩා ලෝලීන් වැඩි ප්‍රමාණයක් ගැවසෙන ප්‍රදේශ සඳහා ආරක්ෂක නිලධාරීන් අනූ දහසක් සේවයේ යොදවා ඇති අතර ප්‍රංශය තුළ තවමත් ක්‍රියාත්මක වන්නේ හදිසි නීතියයි.

පාපන්දු තරඟාවලිය කිසිදු කඩාකප්පල් ක්‍රියාවකින් හෝ අවහිරයකින් තොරව ආරක්ෂා සහිතව පැවැත්වීමේ වගකීම සාම නිලධාරියෙකුටම පැවරෙන බවයි ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලන්ද් අවධාරණය කළේ.

A fan zone in Lille ahead of Euro 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP