පුද්ගල ජාවරම්කරුවෙකුට තිස් පස් වසරක සිර දඬුවම්

සීයකට ආසන්න සංක්‍රමණිකයන් වෑන් රථ පහක සිර කොට දේශ සීමා හරහා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත් පුද්ගල ජාවාරම්කරුවෙකුට තායිලන්ත අධිකරණයක් වසර තිස් පහක සිර දඬුවම් නියම කරනු ලැබීය.
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි මෙම සංක්‍රමණිකයන් අතරින් හතළිහකට අධික පිරිසක් වයස අවුරුදු දාහතරෙන් පහළ දරුවන් බවයි තායිලන්ත බලධාරීන් පවසන්නේ.
'සුනන්ද් සීන්තොන්ග්' නමැති මෙම ජාවාරම්කරු මියන්මාරය සහ බංග්ලාදේශය හැර පලා යන රෝහින්ග්‍යා ජන කොටසේ සංක්‍රමණිකයන් නීති විරෝධී ලෙස දේශ සීමා හරහා ගෙන යාමේ ජාවාරමක නිරත වී ඇති බවටයි සාක්ෂි ලැබී තිබෙන්නේ.

මියන්මාරයේ ජීවත් වන ඉස්ලාම් භක්තික රෝහින්ග්‍යා සුළු ජන සමූහය මුහුණ දෙන දැඩි වද හිංසා සහ අසාධාරණකම් හමුවේ රටින් පලා යමින් සිටියි.
පසුගිය වසරේ තායිලන්ත මියන්මාර දේශ සීමා කලාපයේ මිය ගිය සංක්‍රමණිකයන් වල දැමූ නොගැඹුරු සමූහ මිනී වලවල් හමු වීමත් සමග නීති විරෝධී පුද්ගල ජාවාරම් කරුවන්ට එරෙහි දැවැන්ත මෙහෙයුමක් තායිලන්ත රජය විසින් දියත් කරනු ලැබීය.























