පකිස්තාන අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු පකිස්තානයේ මර්දාන් හි අධිකරණයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තවත් 30 කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.
පළමුව අධිකරණය තුළට අත්බෝම්බයක් විසිකළ ප්‍රහාරකයා ඉන්පසු ගොඩනැගිල්ල තුළට දිව ගොස් බෝම්බයක් පුපුරුවා හළ බවයි පොලීසිය බීබීසීයට පැවසුවේ.
මියගියවුන් අතර පොලිස් නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන්ද සිටින බවයි වාර්තාවන්නේ.
මේ අතර සිකුරාදා පේෂාවර් නගරයට නුදුරු වැඩිවශයෙන් කතෝලිකයන් ජීවත්වන ප්‍රදේශයක බෝම්බ පිපිරීමක් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හතරදෙනෙකු ආරක්ෂක හමුදා විසින් වෙඩිතබා මරාදමනු ලැබුණි.
මෙම ප්‍රහාරයන් දෙකම උතුරු පකිස්ථානයේ ඛයිබර් පක්තුන්කවා පළාතේ දී සිදුවිය.
අධිකරණය තුළ සිදුකළ බෝම්බ පිපිරීමේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නැති වුවද කතෝලික ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම තාලිබාන් සංවිධානයේ කොටසක් ලෙස සැලකෙන ජමාත් අල් අහ්රාර් සංවිධනය විසින් භාරගෙන තිබේ.
මෙම සන්නද්ධකරුවන් විසින් මීට පෙර ද නීතිඥයන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කොට ඇති අතර පසුගිය මාසයේ නීතිඥයන් 18 දෙනෙකු මරණයට පත්වූ ක්වෙටා හි ප්‍රහාරය ඉන් එකකි.
එහි වගකීම ද භාරගෙන තිබුණේ ජමාත් අල් අහ්රාර් සංවිධානයයි.
මර්දාන් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පති ඉසාස් ඛාන් පැවසුවේ නීතිඥයන් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අධිකරණය තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් මරණයට පත්වී ඇති බවයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවා නීතිඥයන් පිරිසක් එක්රැස්වීසිටි අධිකරණ ශාලාවට කඩාවැදීමට උත්සාහ කළද ඊට පෙර පොලීසිය විසින් වෙඩි තබනු ලැබ තිබුණු බවයි නියෝජ්‍ය පොලිපතිවරයා පැවසුවේ.



























