දිල්ලි අගනුවර ආක්‍රමණය කරන 'චිකුන්ගුන්යා'

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ කර්කර්දොමා ප්‍රදේශයේ ඉතා බරපතල ලෙස චිකුන්ගුන්යා වයිරසය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ.
කර්කර්දොමා ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායන වල පවා රෝගීන් පෝලිම් ගැසෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රැඳී සිටින අයුරු දැකිය හැකි බවයි වාර්තා වන්නේ.
හන්දිපත් වේදනාව, වමනය, තද උණ සහ හිසේ කැක්කුම මදුරුවන් මගින් බෝ වන මෙම චිකුන්ගුන්යා වෛරසයේ රෝග ලක්ෂණයි.

ඡායාරූප මූලාශ්‍රය, Atish Patel
ඉන්දියාවේ අගනුවර මෙතෙක් මුහුණ දී ඇති බරපතලම චිකුන්ගුන්‍යා වසංගත මට්ටම මෙය බවයි පැවසෙන්නේ.
දහසකට අධික චිකුන්ගුන්යා රෝගීන් ප්‍රමාණයක් දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් එකොළොස් දෙනෙකු මිය ගොස් ඇති බවයි ඉන්දියාවේ පරපෝෂිතයන් මගින් බෝ වන රෝග මර්ධන ජාතික ව්‍යාපෘතිය පවසන්නේ.
ඊට අමතරව ඉන්දියාව පුරා මේ වන විට චිකුන්ගුන්යා රෝගීන් දොළොස් දහස් දෙසිය පනහකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එම ආයතනය කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Atish Patel
දිල්ලි අගනුවර රජයේ රෝහලක නම හෙළි නොකළ වෛද්‍යවරයෙකු ඉන්දීය ට්‍රස්ට් ප්‍රෙස් ආයතනයට ප්‍රකාශයක් කරමින් පැවසුවේ මේ දින වල රජයේ රෝහල් වල වෛද්‍ය සායන සඳහා එක් දිනකට රෝගීන් අටසීයත් දාහත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර ඉන් 18-20 අතර සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම චිකුන්ගුන්යා වැළඳුන රෝගීන් වශයෙන් හදුනාගන්නා බවයි.
දිල්ලි අගනුවරට යාබද කර්කර්දොමා ප්‍රදේශයේ මාර්ග දෙපසින් ගලා යන අපවිත්‍ර ජලය සහ කැලිකසල පිරි විවෘත්ත කාණු පද්ධති චිකුන්ගුන්යා වාහක මදුරුවන්ට බෝ වීමට අවශ්‍ය සියළුම සාධක සපයන බවයි බලධාරීන් පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Atish Patel
මීට අමතරව දිල්ලි නගරයට ඇදහැළෙන මෝසම් වර්ෂාව හේතුවෙන් නගරයේ බොහෝ පහත්බිම් වල වැසි ජලය රස වීම හේතුවෙන්ද චිකුන්ගුන්යා වාහක මදුරුවන් බෝ වීම ඉතා ඉහළ මට්ටමක පවතියි.
චිකුන්ගුන්යා වාහක මදුරුවා දවල් කාලයේ ක්‍රියාකාරී වන අතර වයිරසය රැගත් මදුරුවන්ගෙන් පැතිරයන මෙම රෝගී තත්වය එක පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ අවදානමක් නැත.

ඡායාරූප මූලාශ්‍රය, AP



























