ගුවන් ප්‍රහාර මැද විසි ලක්ෂයක් සිරියානු ජනතාව පිපාසයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දැඩි ගුවන් ප්‍රහාරවලට ලක් වෙමින් ඇති සිරියාවේ අලෙප්පෝ නගරයේ ලක්ෂ විස්සකට ආසන්න සාමාන්‍ය ජනයා පානීය ජලය නොමැතිව දැඩි අසීරු තත්වයක පසු වෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
පවතින දරුණු ගැටුම් හේතුවෙන් හානියට පත් ජල පොම්පාගාරයක් යථා තත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි යුනිසෙෆ් ආයතනය කියා සිටියේ.
අලෙප්පෝ නගරය අවට ප්‍රදේශ වලට ජලය සපයනු ලබන තවත් පොම්පාගාරයක් ක්‍රියා විරහිත කොට ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
සිරියානු කැරලිකරුවන් අත පවතින ප්‍රදේශ වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කොට ඇති බවයි අලෙප්පෝ නගරයේ සිවිල් ආරක්ෂක ස්වේච්ඡා සේවකයෝ පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර පුද්ගලයන් සිය ගණනක් සිර වී ඇති බව වාර්තා වන අතර රෝහල් කරා පැමිණෙන තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීම අසීරු කටයුත්තක් වී තිබේ.
අලෙප්පෝ නගරයේ සහන සේවාවල නිරත යුනිසෙෆ් සංවිධානයේ සහන සේවකයන් පවසන්නේ පස් වසරක් පුරා සිරියාවේ පවතින ගැටුම් තුළ දක්නට ලැබුණු දරුණුතම මානුෂීය ව්‍යසනයට නගරවාසීන් මුහුණ දී සිටින බවයි.
සිරියානු ආණ්ඩුවේ සහ රුසියාවේ ප්‍රහාරක යානා යොදා ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කෙරෙන බව අලෙප්පෝ ක්‍රියාකාරිකයන් පවසන නමුත් ප්‍රහාර සඳහා සිය යානා යොදා ගන්නා බව රුසියාව විසින් මෙතෙක් තහවුරු කරනු ලැබ නොමැත.
රුසියාව බෂාර් අල් අසාද් ප්‍රමුඛ සිරියානු ආණ්ඩුවට සහාය දක්වන අතර ඇමරිකාවේ සහාය හිමි වන්නේ සිරියාවේ විපක්ෂයටයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තමන් විසින් සිරියානු භූමිය තුළ සහයෝගය දෙනු ලබන කණ්ඩායම් පාලනය කර ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් රුසියාව සහ ඇමරිකාව එකිනෙකාට චෝදනා කර ගනිති.
ඇමරිකාවේ සහ රුසියාවේ මැදිහත් වීමෙන් සිරියාව තුළ පසුගිය සතියේ ක්‍රියාත්මක කරන ලද සටන් විරාමය සඳුදා වන විට බිඳ වැටුණි.
සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකයි.
ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් ජනයා තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්න වේ.






























