තායි හමුදා වධහිංසා කිරීම් පිලිබඳ වාර්තාවකට බාධා කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්' නොහොත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ක්‍රියාධරයන් විසින් පැවැත්වීමට උත්සාහ කළ වදහිංසා කිරීම් පිලිබඳ සම්මන්ත්‍රණයක් තායිලන්ත බලධාරීන් විසින් නවතා දමනු ලැබීය.
බැංකොක් නගරයේ ස්ථානයක දී 'ඇම්නෙස්ටි' ක්‍රියාධරයන් විසින් ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර එහි පැමිණි පොලීසිය සහ කම්කරු අමාත්‍යංශ නිලධාරීන් එහි සිටි පිරිසට තර්ජනය කර ඇත්තේ අත්අඩංගුවට ගන්නා බව පවසමිනි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන වාර්තාවට වධහිංසා පැමිණවීම් හැත්තෑවකට වැඩි සංඛ්‍යාවකට අදාළ තොරතුරු සහ ලියකියවිලි අඩංගු වී ඇති බවයි වාර්තා වන්නේ.
තායිලන්ත හමුදා සොල්දාදුවන් සහ පොලීසිය චෝදනාවට ලක්වී ඇත්තේ අත්අඩංගුවට පත් රැඳවියන් ගේ සිරුරුවලට විදුලි සැර ඇල්ලීම සහ 'වෝටර් බෝර්ඩින්' නමින් හැඳින්වෙන මුහුණට නොනවත්වා වතුර වත්කරමින් හිංසාවට ලක්වන්නන් දියේ ගිලී යාම වැනි තත්වයකට පත්කිරීම සම්බන්ධවයි.























