අල්ලස් ගත් හිටපු චීන නායකයෙකුට අත්හිටවූ මරණ දඬුවමක්

Published
වංචා සහ දූෂණ චෝදනාවන්ට වරදකරු වූ හිටපු චීන කොමියුනිස්ට් පක්ෂ නායකයෙකුට අත්හිටවූ මරණ දඬුවමක් හිමි වෙයි.
බායි එන්පෙයි නමැති මොහු ඩොලර් මිලියන තිස් පහකට අධික වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බවට චීන අධිකරණය තීරණය කළේය.
ඉදි කිරීම් කටයුතු සහ පතල් ගනුදෙනුවලදී අල්ලස් ලබා ගෙන ඇති බවයි අධිකරණය ඉදිරියේ ඔප්පු වී ඇත්තේ.
ඔහු චීනයේ නිරිත දිග ප්‍රදේශයේ යුනාන් ප්‍රාන්තය පාලනය කළ කොමියුනිස්ට් පක්ෂ නායකයා යි.
ජනාධිපතිවරයාගේ විරුද්ධවාදීන්
මරණ දඬුවම දෙවසරකට අත්හිටුවා ඇති හෙයින් බොහෝ විට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ඔහුට හිමි විය හැක.
පසුගිය සිව් වසර ඇතුළත දූෂණ හා වංචා චෝදනා යටතේ චීන බලධාරීන් ලක්‍ෂ ගණනකට දඬුවම් පමුණුවා ඇත.
විවේචකයන් පවසන්නේ චීන ජනාධිපතිවරයාගේ විරුද්ධවාදීන් ඉලක්ක කර ගෙන මෙම දූෂණ විරෝධී මෙහෙයුම දියත් වන බවයි.























