ආරාධනා ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ

ආරාධනා සම්දාරියා
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරාධනා සම්දාරියා
Published

ජෛන ආගමික චාරිත්‍රයක් වශයෙන් නිරාහාරව ගත කිරීම සඳහා බල කරනු ලැබීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් මරණයට පත් ඉන්දියානු දැරියකගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇති බව දකුණු ඉන්දියාවේ පොලිසිය පවසයි.

හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ජීවත් වූ දහතුන් හැවිරිදි 'ආරාධනා' නම් පාසල් සිසුවිය මාස තුනකට අධික කාලයක් නිරාහාරව තබා ඇති බවයි පැවසෙන්නේ.

එම කාලය ඇතුළත දැරියට දී ඇත්තේ පානීය ජලය පමණි.

මාස තුනකට අධික එවැනි දැඩි උපවාස කාලයකින් පසුව ඇය ඇද වැටී ඇති අතර පසුව හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙලා ඇති බවකුයි දක්නට ලැබෙන්නේ.

දැරිය අයත් වන්නේ ජෛන ආගම අදහන පවුලකටයි.

වාසනාව උදා කර ගැනීම සඳහා උපවාස කිරීම ජෛන බැතිමතුන් ගේ ආගමික චාරිත්‍රයකි.

ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන දැරිය ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පවුලට චෝදනා කරති.

එම සංවිධාන පවසන්නේ පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් ආරාධනා දැරිය උපවාසයේ තබා ඇති බවයි.

එහෙත් පවුලේ සාමාජිකයෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරති.