'ජන්ගල්' කඳවුරෙන් සරණාගතයන් ඉවත් කිරීම ඇරඹෙයි
ප්‍රංශ බලධාරීන් විසින් කැලේ තොටුපොළ අසල පිහිටි 'ජන්ගල්' කඳවුරේ සංක්‍රමණිකයන් දහස් ගණන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබ තිබේ.
මේ වන විට සංක්‍රමණිකයන් හත් දහසකට අධික පිරිසක් බ්‍රිතාන්‍යයට ඇතුළු වීමේ අපේක්ෂාවෙන් රැඳී සිටින 'ජන්ගල්' කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ප්‍රංශය තීරණය කර ඇත.
කඳවුරෙන් ඉවත් කරන සංක්‍රමණිකයන් ප්‍රංශයේ විවිධ ප්‍රදේශ වලට පිටත් කර යැවීමේ සංකීර්ණ මෙහෙයුමේ පළමු අදියර ආරම්භ වී ඇති අතර පළමු සිය ගණනක සංක්‍රමණික කණ්ඩායම රැගත් බස් රථ පිටත්ව ගිය බව වාර්තා වෙයි.
ප්‍රංශයේ විවිධ ප්‍රදේශ වල තාවකාලිකව පදිංචි කරවනු ලබන මෙම සංක්‍රමණිකයන්ට එහි සිට සරණාගතභාවය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට ප්‍රංශ බලධාරීන් සැලසුම් කර ඇත.
ඇතැම් සංක්‍රමණික කණ්ඩායම් සිය සරණාගත ඉල්ලුම් පත් බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඔවුන් ජන්ගල් කඳවුරෙන් ඉවත් කිරීමට අපහසු තත්වයක් ඇති වනු ඇති බව ආධාර ආයතන අනතුරු අඟවති.
ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වයන් පාලනය කිරීමට සහ සංක්‍රමණිකයන් කඳවුරෙන් ඉවත් කිරීමේ කටයුතු වලට සහය ලබා දීමට එක්දහස් දෙසීයකට අධික පොලිස් නිලධාරීන් 'ජන්ගල්' කඳවුර අවට සේවයේ යොදවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
කැලේ තොටුපොළ අසල පිහිටි සංක්‍රමණික කඳවුරු ප්‍රංශ බලධාරීන් විසින් කීප වතාවක්ම කඩා බිඳ දැමීමට කටයුතු කළද කෙටි කාලයකින් නැවත එම ස්ථාන වල කූඩාරම් ඉදි කෙරුණි.
'ජන්ගල්' කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ප්‍රංශ බලධාරීන් ගනු ලැබූ තීරණය දැනුම් දීමත් සමග පසුගිය සති අන්තයේ සංක්‍රමණිකයන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය.





























