පාකිස්තානයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයකට ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
නිරිතදිග පාකිස්තානයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයකට තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකදී කැඩෙට් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු අවම වශයෙන් 58 දෙනෙක් මියගිය ගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ප්‍රහාරය එල්ලවූ පොලිස් අභ්‍යාස විද්‍යාලය පිහිටා තිබෙන්නේ නිරිත දිග පාකිස්තානයේ ක්වෙටා නගරයට ඔබ්බෙනි.
කැඩෙට් නිලධාරීන් සියගණනක් නවාතැන්ගෙන සිටින නේවාසිකාගාරයට කඩාවැදුණු ප්‍රහාරකයින් එහි සිටි බොහෝ පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ග්‍රහණයට ගත් බව වාර්තාවේ.
ඉන්පසු රජයේ හමුදා එම ස්ථානයට පැමිණ එක් තුවක්කුකරුවෙකුට වෙඩිතබා මරාදැමූ අතර අනෙක් තුවක්කුකරුවෝ පුපුරණ ද්‍රව්‍ය සහිත කබා පුපුරුවාගෙන සියදිවි හානිකරගත්හ.
මේ දක්වා කිසිදු කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.
ඉහළ පෙළේ ආරක්ෂක බලධාරියෙකු බීබීසී වෙත පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ සිට ප්‍රහාරකයන් මෙහෙයවන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවය.
බලොචිස්තාන් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ක්වෙටාහිදී ඉස්ලාම්වාදී සටන්කරුවන් සහ බෙදුම්වාදී කණ්ඩායම් විසින් මීට පෙර ද මෙම ප්‍රහාරයට සමාන ප්‍රහාර එල්ලකරනු ලැබීය.
පසුගිය අගෝස්තු මාසයේදී ක්වෙටාහි ප්‍රධාන රෝහලට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් හැත්තෑදෙනෙකු මරණයට පත්විය.



























