හිස් කළ කැලේ කඳවුරේ තනි වූ දරුවන්
ප්‍රංශයේ කැලේ තොටුපොළ නගරයේ පිහිටි 'ජන්ගල්' කඳවුරේ සිටි සියලුම සංක්‍රමණිකයන් ඉවත් කළ බව බලධාරීන් නිවේදනය කළ ද වැඩිහිටියකුගේ රැකවරණය නොලබන දරුවන් පිරිසක් තවමත් එහි රැඳී සිටින බව වාර්තා වේ.
සියයකට ආසන්න බාල වයස්කාර දරුවන් පිරිසක් ඊයේ රාත්‍රියේ කඳවුර තුළ රැය පහන් කොට ඇති බව 'ජන්ගල්' කඳවුරට සහන සේවා සපයන කණ්ඩායම් ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් එම තොරතුරු ප්‍රතික්ෂේප කරන ප්‍රංශ බලධාරීන් කියා සිටියේ කඳවුරේ රැය පහන් කළ තරුණ පිරිස හැට අට දෙනෙකුට නොවැඩි වන අතර ඉන් බොහොමයක් 'ජන්ගල්' කඳවුරේ ජීවත් වූ සංක්‍රමණිකයන් නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, AP
පසුගිය සඳුදා සිට මේ දක්වා සංක්‍රමණිකයන් පන්දහස් හයසීයක් 'ජන්ගල්' කඳවුරේ සිට ප්‍රංශයේ විවිධ ප්‍රදේශවලට යවා ඇති අතර ඉන් 1500 ක පිරිසක් ලියාපදිංචිකොට තිබෙන්නේ වැඩිහිටියන්ගේ රැකවරණයක් නොලබන දරුවන් ලෙසය.
කඳවුර ඉවත් කිරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර කම්කරුවෝ කුඩාරම් සහ තාවකාලික ඉදිකිරීම් ගිනි තබමින් භූමිය පිරිසිදු කිරීමේ යෙදී සිටිති.