ඉම්රාන් ඛාන්ට පොලීසියෙන් බාධා

ඉම්රාන් ඛාන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව සුදානමින් සිටින අතර ඉම්රාන් ඛාන් ගේ පැමිණීම වැළැක්විය නොහැකි බවයි ඔහුට සහය පළ කරන අය පවසන්නේ
Published

අවාමි මුස්ලිම් ලීගයේ (AML) ප්‍රධානී ෂෙයික් රෂීඩ් අහමඩ් විසින් ලාල් හවේලි හි දී පවත්වනු ලබන රැළියකට සහභාගීවීම පිණිස 'තෙරීක් එ ඉන්සාෆ්' හෙවත් PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් පැමිණීම වැළැක්වීමට ඉස්ලාමාබාද් පියවර ගෙන තිබේ.

ඉම්රාන් ඛාන් රාවල්පින්ඩි නුවරට ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙනු ලැබ ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තාකරයි.

මේ අතර PTI පක්ෂයේ නායකයන් වන ෆයිසාල් ජාවෙඩ්, මුරාඩ් සයීඩ් සහ එම් එන් ඒ අකිබුල්ලා යන අය බානි ගලා හි පිහිටි ඉම්රාන් ගේ නිවසට යෑමද අවහිර කොට තිබේ.

'ජියෝ නිව්ස්' වෙත අදහස් දක්වමින් ෆයිසාල් ජාවෙඩ් ප්‍රකාශ කළේ තම පක්ෂය සතුව වෙනත් සැලසුම් ඇති අතර පසුව ඒවා හෙළිකරන බවය.

ජනතාව සුදානමින් සිටින අතර ඉම්රාන් ඛාන් ගේ පැමිණීම වැළැක්විය නොහැකි බව ද ඔහු පැවසීය.

ඉම්රාන් ගේ 'බානි ගලා' හි පිහිටි නිවසට පිටතින් රැස්වී සිටි පිරිස් ගස්වලින් අතු කපමින් මුගුරු සුදානම් කරනු දක්නට ලැබුණු අතර එය ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිකරගැනීමේ සුදානමක් බව පෙනී යයි.

ඉම්රාන් ඛාන් ගේ නිවසට ඉහළින් හෙලිකොප්ටර් යානයක් සෝදිසියක යෙදී සිටින අයුරු ද දක්නට ලැබුණි.