පිලිපීන නගරාධිපතිවරයෙකු බන්ධනාගාරය තුළ මරාදැමෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
මත්ද්‍රවය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ රැඳවුම්භාරයේ සිටි පිලිපීනයේ නගරාධිපතිවරයෙකු බන්ධනාගාරය තුළදී වෙඩිතබා ඝාතනයකර ඇත.
පොලීසිය පැවසුවේ අල්බුඑරා නගරයේ නගරාධිපතිව සිටි රොනාල්ඩෝ එස්පිනෝසා සහ තවත් රැඳවියෙකු මරාදමුණේ අනවසර ආයුධ ළඟතබාගෙන සිටීදැයි පරීක්ෂා කිරීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කිරීම හේතුවෙන් බවය.
පසුගිය අගෝස්තු මාසයේ ඇරඹි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවූවන් හෙළි කිරීමේ ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ ගේ මෙහෙයුමේ දී නම් කෙරුණු නිලධාරීන් එකසිය පනහකට වැඩි පිරිසකගෙන් එක් අයෙකුවූයේ රොනාල්ඩෝ එස්පිනෝසාය.
රොනාල්ඩෝ බලධාරීන් වෙත සිය කැමැත්තෙන්ම භාරවූයේද තමා මරාදමනු ඇති බවට බියක් පවතින බව පවසමිනි.
පසුගිය සතියේ ජනාධිපති දුටර්ටේ විසින් නම් කරනු ලැබූ තවත් නගරාධිපතිවරයෙකු වූ සමුසුදින් දිමව්කොම් දකුණු පිලිපීනයේදී පොලීසිය සමග පැවති වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ බව වාර්තාවිය.
























