පැන ගිය වකුගඩු ජාවාරම්කරුවන් මන්නාරමේදී අත්අඩංගුවට?

පැන ගිය වකුගඩු ජාවාරම්කරුවන් මන්නාරමේදී අත්අඩංගුවට?
Published

වකුගඩු ජාවාරමේ සැක කරුවන් ලෙස මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පලාගිය පුද්ගලයන් යයි සැක කෙරෙන ඉන්දීය ජාතිකයන් පස් දෙනකු මන්නාරම පේසාලේ හිදී අත්අඩංගුවට ගත් බව මන්නාරම ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසිය වෙත පැවසීය.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රී (නොවැ 10 ) අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තමන් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් රඳවා සිටියදී පලාගිය පුද්ගලයන් බව පිළිගෙන ඇත.

මිරිහානෙන් පලාගිය තමන් අතරින් දෙදෙනකු බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පැන ගොස් ඇති අතර තමන්ද එලෙස පලායාමට සුදානම් වූ බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

එහෙත් අදාළ පොලිස් නිලධාරියා පෙන්වා දුන්නේ ඉන්දියාවට පැන ගියේ යයි කියන පුද්ගලයන් දෙදෙනාද ප්‍රදේශය තුළ තවමත් රැඳී සිටිය හැකියැයි සැක කෙරෙන බැවින් විශේෂ සෝදිසි කිරීම් ආරම්භ කොට ඇති බවය.

අදාළ සැකකරුවන් පස් දෙනා හට ඉන්දියාවට පැන යාම සඳහා සහය දෙමින් ඔවුන් සඟවාගෙන සිටියේ යයි සැක කෙරෙන තලෙයිමන්නාරම ප්‍රදේශයේ ධීවර බෝට්ටු හිමියෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.