වසර පහළොවකට පසු රුසියානු කැබිනට් අමාත්‍යවරයකු අත්අඩංගුවට

Published

1991 සිදු වූ අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරයෙකු රැඳවුම් භාරයට ගැනීමට රුසියානු රජය ක්‍රියා කොට තිබේ.

රාජ්‍ය සංස්ථාවක කොටස් පෞද්ගලීකරණය කිරීමේ ගනුදෙනුවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් මුදලක් ලබා ගත් බවට එල්ල වූ චෝදනා මත රුසියාවේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ඇලෙකි යුලායියුකෙව් අත්අඩංගුවට ගත් බව රුසියානු බලධාරීහු පවසති.

'Bashneft' බාශ්නෙෆ්ත් ජාතික ඛනිජතෙල් සංස්ථාවේ කාර්මික විශේෂඥයකු ලෙස දීර්ඝ කාලයක් ක්‍රියාකළ ඇලෙකි යුලායියුකෙව් එහි කොටස් නිල වශයෙන් පෞද්ගලික අංශයට විකිණීමට කටයුතු සැලසුම් කළ පුද්ගලයා ලෙස හඳුන්වයි.

ක්‍රෙම්ලින් පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන වාර්තා වල දැක්වෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීමට අවසර දෙනු ලැබ ඇති අතර බොහෝ අවස්ථාවල රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරන අගමැති දිමිත්‍රි මෙද්වදෙෆ් වෙත කළ අනතුරු ඇඟවීමක් ලෙස මෙම ක්‍රියාව අර්ථකථනය කළ හැකි බවය.