මාර්කෝස් දේහය ජාතික වීරයන්ගේ සොහොන්භූමියෙන් ඉවත්කරන මෙන් ඉල්ලීම්

හිටපු ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස්ගේ දේහය දැනට මිහිදන් කරනු ලැබ ඇති භූමියෙන් ඉවත්කරන ලෙස නියෝගකරන මෙන් ඔහුගේ පාලනය යටතේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ගොදුරු වූ පිලිපීන ජාතිකයෝ එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
මාර්කෝස් දේහය දැනට මිහිදන් කරනු ලැබ තිබෙන්නේ මැනිලා අගනුවර ජාතික වීරයන්ගේ සොහොන් භූමියේයි.
මතභේදයට තුඩුදුන් රහස්‍ය අවමඟුල් උත්සවයක් පවත්වමින් මාර්කෝස් දේහය පසුගිය සිකුරාදා ජාතික වීරයන්ගේ සොහොන්භූමියේ තැන්පත් කෙරුණ අතර එය මේවනවිට පිලිපීනය තුළ විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

එම දේහය ජාතික වීරයන්ගේ සොහොන්භූමියේ තැන්පත් කරනු ලැබීමට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වී තිබුණ අතර අධිකරණය විසින් ඒවා විභාගකරනු ලැබීමට පෙරම එය රහස්‍ය මට්ටමින් එහි තැන්පත්කර ඇති බව පිලිපීන වාර්තා මගින් පැවසෙයි.
එම පියවර ගත් නිලධාරීන්ට එරෙහිව දඩ නියම කළයුතු අතර පිලිපීන නීතිය සමච්චලයට ලක්කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බව ඊට එරෙහි කණ්ඩායම් කියාසිටිති.
මහජන නැගිටීමකින් අනතුරුව රටින් පළාගිය මාර්කෝස් මෙයින් අවුරුදු තිහකට පමණ පෙරයි මරණයට පත්වුණේ.

ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එකාධිපති පාලකයකු වූ බවට චෝදනාකරන කණ්ඩායම් ඔහුගේ දේහය ජාතික වීරයන්ගේ සොහොන්භූමියේ තැන්පත් කරනු ලැබීමට නුසුදුසු බව පෙන්වා දෙති.























