කොලොම්බියාවේ අලුත් සාම ගිවිසුමක්

Juan Manuel Santos

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මින් පෙර අත්සන් කෙරුණු සෑම ගිවිසුමට ජනතා අනුමැතිය නොලැබුණි
Published

FARC කැරලිකරුවන් සමග බ්‍රහස්පතින්දා නව සාම ගිවිසුමක් අත්සන් කරන බව කොලොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් පවසයි.

එසේම ඒ පිලිබඳ තවත් ජනමත විචාරණයකට නොගොස් කෙලින්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

පනස්වසරකට වැඩි කාලයක් තිස්සේ පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම පිණිස මීට පෙර අත්සන් කළ සාම ගිවිසුම ජනමත විචාරණයේදී ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ප්‍රතික්‍ෂේප කෙරුනේ එමගින් කැරලිකරුවන් වෙත අවශ්‍ය ප්‍රමාණයට වඩා සහන ලබා දී ඇති බව කොලොම්බියානු ජනතාව විශ්වාස කළ හේතුවෙනි.

දැන් මේ නව සාම ගිවිසුමතුළ වෙනස් කම් පනහක් ඇතුළත්ව තිබෙන නමුත් හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ ගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂය තවමත් සැහීමකට පත්වී නැත.

සටන් විරාමය මේ වසර අවසානයේදී අවසන් වීමට නියමිතව ඇති අතර ගොඩනගාගත් සාමය බිඳී යනු ඇතැයි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ජනාධිපති සන්ටෝස් කනස්සල්ලෙන් පසුවන බව වාර්තාවේ.

බීබීසී වාර්තාකරුවෙකු පවසන්නේ ස්ථිර ලෙස සටන් නැවැත්වීමක් පිලිබඳ රටපුරා බලාපොරොත්තුවක් ඇතිකරගැනීමේ ජනාධිපතිවරයාගේ අභිප්‍රාය ජනතා කැමැත්තට අවකාශ ලබා නොදීම මගින් අසාර්ථක විය හැකි බවය.