අලෙප්පෝහි ‘බලප්‍රදේශයක්’ සන්නද්ධ කණ්ඩායම්වලින් ගිලිහෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නැගෙනහිර අලෙප්පෝහි සන්නද්ධ කණ්ඩායම්වල ග්‍රහණයේ පැවැති විශාලතම දිස්ත්‍රික්කය සිරියානු හමුදා විසින් යළි අත්පත්කරගනු ලැබූ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඊසානදිග අලෙප්පෝහි මසාකෙන් හනානෝ ප්‍රදේශය අත්පත් කරගැනීම හේතුවෙන්, සන්නද්ධ කණ්ඩායම් යටතේ පවතින අනෙකුත් ප්‍රදේශ වෙත වෙඩි බලය යෙදවීමේ හැකියාව සිරියානු හමුදාවට ලැබෙන බව කියැවේ.
නැගෙනහිර අලෙප්පෝ යළි අත්පත් කරගැනීම සඳහා නොවැම්බර් 15 වෙනිදා සිරියානු රජය විසින් ප්‍රහාර දියත් කරනු ලැබූ අතර 275,000 ක පිරිිසක් එහි සිරවී සිටිති.
ප්‍රහාරයේදී ළමුන් 27 දෙනෙකු ද ඇතුළව සිවිල් පුද්ගලයින් 212 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් රාජධානිය මූලස්ථානය කරගත් මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණායතනය නම් වූ සංවිධානය පවසයි.
ජනතාවට ප්‍රමාණවත් තරම් වෛද්‍ය සැපයුම් හා ආහාර නොමැති බව ද වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සමස්ත අලෙප්පෝ භූමියම යළි අත්පත් කරගැනීම, වසර හයහමාරක් ගතවූ ගැටුම තුළ ජනාධිපති බෂාර් අල්-අසාද් ලබන ප්‍රධානතම ජයග්‍රහණයක් වනු ඇත.
සන්නද්ධ කණ්ඩායම් විසින් 2012 වසරේදී අල්ලාගන්නා ලද අලෙප්පෝහි මුල්ම ප්‍රදේශය මසාකෙන් හනානෝ වේ.
එහෙත් මේ වනවිට සිරියානු හමුදා විසින් එම ප්‍රදේශයේ 'සම්පූර්ණ පාලනය' සියතට ගනු ලැබ ඇති අතර එහි වූ බිම්බෝම්බ සහ අනෙකුත් බෝම්බ ඉවත්කරමින් සිටින බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියවන සනා වාර්තා කළේය.
වරෙක සිරියාවේ වානිජ හා කර්මාන්ත කේන්ද්‍රස්ථානය වූ අලෙප්පෝ 2012 වසරේ සිට කොටස් දෙකකට බෙදී පවතින අතර බටහිර ප්‍රදේශය රජය විසින් පාලනය කරනු ලබද්දී නැගෙනහිර කොටස සන්නද්ධ කණ්ඩායම් යටතේ පවතී.
එහෙත් ගෙවී ගිය වසර තුළ දී ඉරානයේ සහය ලබන සන්නද්ධ කණ්ඩායම් මෙන් ම රුසියානු ගුවන් ප්‍රහාරවල ද සහය ලත් සිරියානු හමුදා තමන් සිරවී සිටි ස්වභාවය බිඳ ලා ඉදිරියට ඇදීම ඇරඹූහ.
කෙසේවුවද, රුසියාව පවසන්නේ රටේ අනෙකුත් ප්‍රදේශවල සිය ගුවන් හමුදාව ක්‍රියාකාරීවන නමුදු අලෙප්පෝ ප්‍රදේශයේ මෙහෙයුම්වල නොයෙදෙන බවය.



























