ජයලලිතාට අවසන් ගෞරව දැක්වීමට දස දහස් සංඛ්‍යාත ජනකායක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ජයලලිතාට අවසන් ගෞරව දැක්වීමට දස දහස් සංඛ්‍යාත ජනකායක්
Published

ඉන්දියාවේ බලවත් මෙන්ම ජනප්‍රියතම දේශපාලන නායිකාවක් වූ තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත ජනතාව පෙළ ගැසෙමින් සිටිති.

ඉරිදා රාත්‍රියේ හෘදයාබාධයකට ගොදුරු වූ හැට අට හැවිරිදි තමිල්නාඩු මහ ඇමතිනිය ඊයේ (දෙසැ.05) රාත්‍රියේ 11.30 ට අභාවප්‍රාප්ත වූ බව චෙන්නායි නුවර ඇපොලෝ රෝහල නිවේදනය කළේය.

ඉන්දීය ජාතික ධජයෙන් ආවරණය කෙරුණු ඇයගේ දේහය සහිත මංජුසාව මහජන ගෞරවය සඳහා පොදු ශාලාවක තැන්පත් කරනු ලැබ ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිස අතර සිටියේය.

මහ ඇමතිනියගේ අභාවයත් සමග නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය හැකි බවට පවතින බිය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය තුළ අතිරේක පොලිස් භට කණ්ඩායම් යොදවා ඇත.

හිටපු ජනප්‍රිය සිනමා නිළියක වන ජයලලිතා සිව් වතාවක් තමිල්නාඩුවේ මහ ඇමති පදවිය හෙබැවූ අතර, ප්‍රාන්තයේ බොහෝ දෙනා ඇය දේවත්වයෙන් පුදති.

'අම්මා' යන විරුදාවලිය ලත් ජයලලිතා මහ ඇමතිනියගේ අභාවය දරාගත නොහැකිව ඇයගේ ආධාරකරුවන් ජීවිත හානි කර ගැනීමට හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම්වලට යොමු වෙතැයි බිය පළ විය.