ධීවරයනුත් බීමත්ව සිටී දැයි පරීක්‍ෂා කළ යුතුයි - ඇමති

ශ්‍රී ලංකාවේ ධීවරයෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, සාගරයේ සිදුවන අනතුරු පිළිබඳව වාර්තා නොවීම හේතුවෙන් එයට එරෙහිව ජනතා මතයක් ගොඩනැගී නැති බව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි
Published

මහාමාර්ගවල රිය පදවන්නන් පමණක් නොව ධීවර කර්මාන්තයේ නිරතවන පුද්ගලයන් ද බීමත්ව සිටින්නේ දැයි පරීක්ෂා කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

බිමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැලක්වීම පිණිස අවශ්‍ය නව නීති හඳුන්වා දීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුහුදේ සිදුවන අනතුරු අවම කර ධීවර ජීවිත මෙන්ම බෝට්ටු හිමිකරුවන් ද රැකගැනීම සිය උත්සාහය බවත් ඔහු කියා සිටියේ රැකව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

"දැන් බලන්න බීලා වාහන ධාවනය කළොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවා. පහුගිය දවස්වල රටේ ලොකු ඝෝෂාවක් ගියා දඩ මුදල් වැඩිකිරීම පිළිබඳව," ඔහු පෙන්වා දුන්නේය.

බීමත්ව වාහන ධාවනය කිරීමෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවිමේදීත් බහුලව අනතුරු සිදුවන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා, ධීවර අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී එම යෝජනාව ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

බීමත්ව රිය පැදවීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල වැඩි කිරීමට එරෙහිව පසුගියදා වැඩවර්ජනයක් ද දියත්විය
ඡායාරූප ශීර්ෂ වැකිය, බීමත්ව රිය පැදවීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල වැඩි කිරීමට එරෙහිව පසුගියදා වැඩවර්ජනයක් ද දියත්විය

සාගරයේ සිදුවන එවැනි අනතුරු පිළිබඳව වාර්තා නොවීම හේතුවෙන් එයට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි පවසන ඔහු, එවැනි අනතුරුවලදී ජීවිත හානි සිදුවන අතරම, බෝට්ටුවලට සිදුවන හානියත් බරපතල බවත් පවසයි.

"සමහර බෝට්ටු දෙකට කැඩිලා. එවැනි බෝට්ටුවක් ලක්ෂ 100 ක් ලක්‍ෂ 150 විතර වෙනවා. ඉතින් මෙවැනි අනතුරකදී ධීවරයන්ගේ පවුල් අනාථ වෙනවා. බෝට්ටු හිමිකරුවා හිඟන්නෙක් තත්වයට වැටෙනවා."

තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, "මම යෝජනා කරන්නේ ධීවරයින් සියළු දෙනා සවස 06 වෙනකොට ධීවර වරායට පැමිණීම අනිවාර්ය කළ යුතු බවයි. දැන් වෙන්නේ රෑ නවය දහය වෙනකන් බීල කෙලින් ඉන්නවත් බැරුව බෝට්ටුවත් අරගෙන යනවා. මහ මුහුදේ මොන ට්‍රැෆික් රාළහාමිලා ද?. ගිහින් බෝට්ටුත් හප්පගෙන ජීවිතත් නැති කරගන්නවා,"යනුවෙන්ද පැවසීය.

මහාමාර්ගයක අනතුරක් සිදු වූ අවස්ථාවක රෝහලට ගෙනයාමේ හැකියාව තිබෙන නමුත් මහ මුහුද මැද සිදුවන අනතුරකදී ජීවිත බේරාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බව වැඩිදුරටත් පැවසීය.