ඇෆ්ගන් ආරක්ෂක නිලධාරිනියන් පස් දෙනෙකු ඝාතනය කෙරේ

ඇෆ්ගන් ආරක්ෂක නිලධාරිනියන් පස් දෙනෙකු ඝාතනය කෙරේ
Published

ඇෆ්ගනිස්තානයේ කන්දහාර් ගුවන් තොටුපලේ සේවයේ නිරත ආරක්ෂක නිලධාරිනියන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට බලධාරීහු පවසති.

එම නිලධාරිනියන් සේවා ස්ථානය බලා පැමිණෙමින් සිටියදී ඝාතනයට ලක් වී ඇති බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් කියා සිටියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිලධාරිනියන් ගමන් ගනිමින් සිටි වෑන් රථය වෙත වෙඩි තබනු ලැබ ඇති බවය.

ප්‍රහාරයට ගොදුරු වූ වෑන් රථයේ රියදුරු ද මරුමුවට පත් වී ඇත.

කන්දහාර් කලාපය බොහෝ විට තාලිබාන් කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ලක් වේ.

ප්‍රහාරය හෙලා දකිමින් ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේ කාන්තාවන් ඝාතනය කිරීම රටේ සහ ඉස්ලාමීය හර පද්ධතිවලට පටහැණි බවය.