එංගලන්තයේ සිය දිවි නසාගැනීම්වල 'වැඩිවීමක්'

Crowd of generic people

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

Published

එංගලන්තය තුළ සිය දිවි හානි කර ගන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාව බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද සෞඛ්‍ය තේරීම් කමිටුවක් පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින අතර සිය දිවි හානි කර ගැනීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමේ නව සැලසුමක් ලබන වසර ආරම්භයේ දියත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ කොටසක්වන එංගලන්තය තුළ 2015 වසරේදී වාර්තා වී ඇති සිය දිවි හානි කර ගැනීම් සංඛ්‍යාව 4,820 කි.

එම වසරේ එංගලන්තය ඇතුළු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ සම්පූර්ණ සිය දිවි නසා ගැනීමේ මරණ සංඛ්‍යාව 6,188 කි.

සිය දිවි නසා ගැනීමේ අවදානමක පසුවන පුද්ගලයන් වෙත වඩාත් සමීප වී ඔවුන්ට සහන සැලසිය යුතු බව අදාළ තේරීම් කමිටුව නිර්දේශ කොට තිබේ.

තම පුතු අහිමි වූ මවක් තේරීම් කමිටුව වෙත සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සිය පුතු වෙත සමීප වීම අපහසු කටයුත්තක් නොවූවත් සිය දිවි නසා ගැනීම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක ආයතන වෙතින් උපදේශන සහ සේවා ලබා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බවය.

කමිටු නිර්දේශ

Angela Samata

ඡායාරූප මූලාශ්‍රය, BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ මොහොතේ ඔබ දුරකථනය හරහා සමීපතමයන්ට කතා කරනවා. ඊළඟ මොහොත වන විට යළි කිසිදාක ඔබට ඔවුන් හා කතා කර නොහැකි වෙනවා."

ඇන්ජලා සමන්තාගේ සහකරු සිය දිවි හානි කර ගත්තේ දැනට වසර දහතුනකට ඉහතදී.

සිය දිවි නසා ගැනීමට පෙලඹෙන බවට අනතුරු හැඟවෙන කිසිවක් හෝ ඉඟියක් ඔහු වෙතින් පළ නොවු බව ඇය සිහි කරන්නේ වේදනා බර හඬිනි.

"මේ මොහොතේ ඔබ දුරකථනය හරහා සමීපතමයන්ට කතා කරනවා. ඊළඟ මොහොත වන විට යළි කිසිදාක ඔබට ඔවුන් හා කතා කර නොහැකි වෙනවා. මේක ඇත්තට සිදු වෙන්නක් නොවේය කියලා හිතෙන තත්වයකට ඔබ පත් වෙනවා." ඇය කියා සිටින්නීය.

සිය දිවි නසා ගැනීම් හේතුවෙන් සිය සමීපතමයන් අහිමිව පීඩාවට පත්වන පවුලේ ඥාතීන් වෙනුවෙන් සහන සලසන ජාතික මට්ටමේ පුණ්‍යායතනයක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන සමන්තා පවසන්නේ වර්තමානයේ සමාජීය ගැටලුවක් බවට පත් වී ඇති සිය දිවි හානි කර ගැනීම් සම්බන්ධයෙන් වඩාත් පුළුල්ව සාකච්ඡා කළ යුතු බවය.

අදාළ වාර්තාවට අනුව සිය දිවි හානි කර ගැනීම් වැළැක්වීම සඳහා 2012 වසරේදී ආණ්ඩුව ක්‍රියාත්මක කළ උපාය මාර්ග සහ ඒවායේ අරමුණු සාර්ථක වී නොමැත.

සිය දිවි නසා ගැනීමේ නැඹුරුවක් පවතින පුද්ගලයන් වෙත ළඟා වී තවදුරටත් සමීප වී සහන සැලසිය යුතු බව කමිටු වාර්තාවෙන් නිර්දේශ කොට තිබේ.

සිය දිවි නසා ගැනීම් හා සම්බන්ධ වෙබ් අඩවිවලට ඇතුළු වීම අවහිර කිරීම කමිටුවේ තවත් නිර්දේශයක්.

දිවි තොර කර ගැනීමට පෙලඹුණු රෝගීන්ගේ මානසිකත්වය ප්‍රකෘති තත්වයට පත් වන තෙක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර ඊට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමත් නිර්දේශ අතරට ඇතුළත්.

මාධ්‍යටත් චෝදනා

දිවි නසා ගන්නේ දුක කියන්න කෙනෙකු නැති කමින්

ඡායාරූප මූලාශ්‍රය, THINKSTOCK

ඡායාරූප ශීර්ෂ වැකිය, එසේම මානසික සුව සේවා ආයතනවලින් ප්‍රතිකාර ගෙන නිවෙස් බලා යන පුද්ගලයන්ට ලබා දෙන සහාය තවදුරටත් ඉහළ නැංවිය යුතු බවට නිර්දේශ

සිය දිවි නසා ගැනීම් වළකනු වස් අන්තර් ජාල උපදේශන සේවා වැනි නව ක්‍රමවේදයන් වෙත යොමුවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයෙන් ඉල්ලා සිටිති.

එවැනි අවදානමක පසුවන පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තවත් පුහුණු වීම් ලබා දිය යුතු බවත් එම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් නිකුත් කරන ලද වාර්තාවේ නිර්දේශ තුළ ඇතුළත්.

එසේම මානසික සුව සේවා ආයතනවලින් ප්‍රතිකාර ගෙන නිවෙස් බලා යන පුද්ගලයන්ට ලබා දෙන සහාය තවදුරටත් ඉහළ නැංවිය යුතු බවටත් එමගින් නිර්දේශ කොට තිබේ.

සිය දිවි හානි කර ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද සෞඛ්‍ය තේරීම් කමිටුවේ ප්‍රධානී වෛද්‍ය සේරා වොලස්ටන් පවසන පරිදි එංගලන්තය තුළ සිය දිවි හානි කර ගෙන ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව වාර්තාවන ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගත හැක.

"සියදිවි නසා ගැනීම් කියන්නේ වළක්වා ගත හැකි දෙයක්. ඒ වගේම එවැනි අවදානමක සිටින පුද්ගලයන්ට සහන සැලසීමට ක්‍රියා කළ යුතුයි," ඇය කියා සිටින්නීය.

සිය දිවි හානි කර ගැනීමේ පුවත් වාර්තා කිරීමේදී මාධ්‍ය, වගකීම් විරහිත ලෙස කටයුතු කරන බවට ඒ සම්බන්ධයෙන් හඬ නගන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරයි.

ඒ ආකාරයට පුවත් පළ කිරීම හේතුවෙන් එවැනි අවදානමක සිටින පුද්ගලයන් සිය දිවි නසා ගැනීමේ ක්‍රමවේදයන් අනුකරණය කිරීමට පෙලඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙයි.