ඩකා ආපනශාලා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු 'මරා දැමුවා'

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

පසුගිය වසරේ ජුලි මාසයේ ඩකා අගනුවර ආපනශාලාවකට එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වෙඩි තබා මරා දැමූ බව බංග්ලාදේශයේ පොලිසිය පවසයි.

ආපනශාලාව තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවා ගැනුන විදේශිකයන් බහුතරයක් ඇතුළු විසි දෙනෙකු ඝාතනය කෙරිණ.

ඩකා නගරයේ ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් අතරවාරයේ හටගත් වෙඩි හුවමාරුවේදී නුරුල් ඉස්ලාම් මර්සාන් නම් ප්‍රධාන සැකකරු සහ තවත් ඉස්ලාම්වාදී අන්තවාදියකු මරා දැමුණු බව පොලිසිය පවසයි.

මස්රාන් පොලිස් අත්අඩංගුවට පත් වූ බව පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වුවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවයි පොලිසිය කියා සිටියේ.

ඝාතනය කෙරුණු මර්සාන් බංග්ලාදේශය තුල තහනම් කර ඇති ජමාත් අල් මුජාහිදීන් සටන්කාමී කණ්ඩායමේ සාමාජිකයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ශ්‍රී ලාංකික යුවලක් සැඟවී දිවි බේරාගෙන තිබෙන බව බංග්ලාදේශයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සේසත් තාඹුගල බීබීසී සංදේශයට කියා සිටියාය.