සහකරුගේ විශ්‍රාම වැටුප අවිවාහක සහකාරියට

ඡායාරූප මූලාශ්‍රය, PA
දීර්ඝ කාලයක් මුළුල්ලේ එක්ව වාසය කළ සහකරු මියයාමෙන් අනතුරුව ඔහුගේ විශ්‍රාම වැටුප අහිමිකරනු ලැබූ කාන්තාවකට එය හිමිවිය යුතු බව බ්‍රිතාන්‍ය අධිකරණයක් තීන්දු කළේය.
සිය පෙම්වතාගේ වෘත්තීය විශ්‍රාම වැටුප අහිමිකිරීම මගින් "බරපතල නොසලකා හැරීමක්" සිදු වූ බව පවසමින් ඩෙනිස් බ්රූස්ටර් අධිකරණයේ පිහිට පැතුවාය.
ඒ පිළිබඳව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, ඇයට අසාධාරණයක් සිදුව තිබෙන බව බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
කොලරේන් ප්‍රදේශයේ විසූ ඩෙනිස් බ්රූස්ටර් සහ ලෙනී මැකුලන් වසර දහයක් එක්ව දිවි ගෙවූ අතර, ඔවුන් දෙදෙනා නිවසක ද හිමිකරුවෝ වූහ.
ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන දින දෙකකට පසුව 2009 නත්තල් දිනයේ, එවකට 43 හැවිරිදි වියේ පසු වූ ලෙනී මැකුලන් හදිසියේම මියගියේය.

ඡායාරූප මූලාශ්‍රය, PA
ඒ වනවිට ලෙනී උතුරු අයර්ලන්තයේ රජයේ ප්‍රවාහන සේවයේ වසර 15ක් සේවය කර තිබුණි.
එම වසර 15 මුළුල්ලේ ඔහු එහි විශ්‍රාම වැටුප් අරමුදලට දායක වී තිබූ බැවින් ඔවුන් දෙදෙනා විවාහකව සිටියේ නම් ලේනීගේ මරණයෙන් අනතුරුව අනිවාර්යයෙන්ම ඩෙනිස්ට ඔහුගේ විශ්‍රාම වැටුප හිමිවේ.
එහෙත් සහකරුවකුට හෝ සහකාරියකට සිය සහකරු/සහකාරියගේ විශ්‍රාම වැටුප හිමිවන්නේ මියගිය පුද්ගලයා විසින් ඔහු හෝ ඇය ලිඛිතව නම්කර තිබෙන්නේ නම් පමණි. එහෙත් ලෙනී එවැනි අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර නොතිබිණි.
එම තීන්දුවට එරෙහිව ඩෙනිස් අධිකරණයේ පිහිට පැතූ අතර, උතුරු අයර්ලන්තයේදී පැවති නඩු විභාග ගණනාවකට පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස් දෙනකුගෙන් සමන්විත ලන්ඩනයේ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව වූයේ ඩෙනිස්ට සිය සහකරුගේ විශ්‍රාම වැටුප හිමිවිය යුතු බවයි.



























