"ආරක්ෂක උපදේශකකම එපා !"

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමෙරිකානු ආරක්ෂක උපදේශක තනතුර සඳහා ඇරයුම් ලද විශ්‍රාමික වයිස් අද්මිරාල් රොබට් හාවර්ඩ් එම ඉල්ලීම බැහැර කළේය.
සිය පවුලේ කටයුතු මෙන්ම මුල්‍ය පසුබිම සළකා හාවර්ඩ් විසින් එම තීරණය ගනු ලැබ ඇතැයි ධවල මන්දිර නිලධාරියෙකු පැවසුවද, ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන පරිදි ඒ සඳහා බාධාව වූ කරුණ නම්, රොබ්ට් හාවර්ඩ් හට තමන්ගේ ම කණ්ඩායමක් පත්කරගැනීමට තිබූ අවශ්‍යතාව වේ.
ආරක්ෂක උපදේශකවරයාව සිටි මයිකල් ෆ්ලින් ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය සඳුදා තනතුරෙන් පහකරනු ලැබුවේ රුසියාව සමග පැවති සබඳතා පදනම් වීම හේතුවෙනි.
ඇමෙරිකාවේ රුසියානු තානාපතිවරයා සමග පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ෆ්ලින්, උප ජනාධිපති මයික් පෙන්ස් නොමග යවන ලද බවට චෝදනා එල්ල විය.
ආරක්ෂක උපදේශක තනතුරට මෙවර ඇරයුම් ලද 60 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා 'සීල්' නිලධාරියකුවන රොබ්ට් හාවර්ඩ්, ලොක්හීඩ් මාර්ටින් නම්වූ ඇමෙරිකානු ආරක්ෂක කොන්ත්‍රාත් සමාගමේ විධායකයකු ලෙස අබුඩාබි හි සේවයේ යෙදී සිටී.
තමන්ගේ 'වෘත්තීයමය හා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ට්‍රුම්ප් පරිපාලනය වඩා පහසුකම් සලසනවා' යැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පැවසූ හාවර්ඩ් සඳහන් කළේ තමාගේ තීරණයට 'හුදෙක් පෞද්ගලික හේතු' බලපෑ බවය.























