දික්කසාද වෙන අඹු සැමියන්ගේ ගාස්තු ආපසු ගෙවන හෝටල් ජාලයක්

A Swedish couple on deck chairs overlooking the sea in Sweden

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

Published

සිය සංචාරක නිකේතන තුළ ලැගුම් ගෙන වසරක් තුළ දික්කසාදවන අඹුසැමියන් වේනම් ඔවුන් විසින් වැය කරන ලද මුදල් ආපසු ලබා දෙන (Refund) හෝටල් ජාලයක් පිළිබඳ ස්වීඩනයෙන් වාර්තා වේ.

අඹුසැමියන්ට එක්ව කාලය ගත කිරීමට මෙන්ම පළුදු වූ සබඳතා යළි වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාවක් සැලසීමේ අරමුණින් 'The Countryside Hotels' ජාලය එම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ස්වීඩනයේ 'NWT' පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.

සිය නිකේතනයක කෙටි දිනක් විවේක ගන්නා අඹුසැමියන් සඳහා 'වගකීම් සහතිකයක්' ලබා දෙන බව හෝටල් ජාලය පවසයි.

ඉන් අනතුරුවත්, අඹුසැමි ගැටලු නිරාකරණය නොවී වසරක් තුළ දික්කසාද වන්නේ නම් සිය නිකේතනයක දින දෙකක් ගත කිරීම සඳහා වැය කරන ලද මුදල ආපසු ලබා දෙන බව හෝටල් ජාලය වැඩිදුරටත් කියා සිටී.

Swedish krona notes

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ 'වගකීම් සහතිකය' ලබා ගැනීම සඳහා නවාතැන් ගනු ලබන යුවල විවාහකයන් විය යුතු අතර ඔවුන් එකම කාමරයක ලැගුම්ගත යුතුය.

සිය නිකේතනයේ ගත කරන කාලය තුළ අඹුසැමියන්ට විවාහක ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අවස්ථාව සැලසෙන බව කී 'The Countryside Hotels' ජාලයේ කළමනාකාරිනියකවන පෙට්ට්‍රා ජැනසන් "සබඳතා අලුත්කර ගන්නත්, එදිනෙදා ජීවිතයට කෙටි විවේකයක් ලබා ගන්නත් හැමොටෝම යම් කාලයක් අවශ්‍යයි" යනුවෙන් සඳහන් කළාය.

අදාළ 'වගකීම් සහතිකය' ලබා ගැනීම සඳහා නවාතැන් ගනු ලබන යුවල විවාහකයන් විය යුතු අතර ඔවුන් එකම කාමරයක ලැගුම් ගත යුතුය.

ඔවුන් දික්කසාද වීමෙන් අනතුරුව නවාතැන් ගැනීම සඳහා වැය කළ මුදල් යළි ලබා ගැනීමට නම් ඊට අදාළ අධිකරණ ලිපිගොණු සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ යුතු බවත් 'The Countryside Hotels' ජාලය වැඩිදුරටත් පවසයි.