අසරණව සිටි සිම්බා සහ ලූලාට පිහිටක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉරාක යුද්ධය නිසා විපතට පත් දරුවන්, කාන්තාවන් ඇතුළු සාමාන්‍ය වැසියන් පිළිබඳ අප කොතෙකුත් අසා ඇත.
යුද්ධය හේතුවෙන් විපතට පත් වූ සතුන් පිළිබඳවත් ඇතැම්විට වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ බිම් බෝම්බවලට හසුවී පාදයක් අහිමි වූ අලි පැටවා ඊට එක් උදාහරණයකි.
මේ අතර යුද්ධයට ගොදුරු වූ ඉරාකයේ මෝසුල් නුවර සත්වෝද්‍යානය තුළ ඉතා දරුණු තත්වයන් යටතේ දිවි ගෙවූ අසරණ සතුන් දෙදෙනෙකු බේරා ගැනීමේ පුවතක් වාර්තා වේ.
සත්වෝද්‍යානයේ සිටි සතුන් අතරින් දිවි ආරක්ෂා වී තිබුණේ සිම්බා නමැති සිංහයාගේ සහ ලූලා නමැති වලසාගේ පමණකි.
'මොන්ටාසා අල් මොරෝර්' පෞද්ගලික සත්වෝද්‍යානයේ කූඩු තුළම අතහැර දමා ගොස් සිටි සිම්බා සහ ලූලා පසුගිය පෙබරවාරි මාසයේදී සොයා ගනු ලැබූ අතර එම කූඩු මළ මුත්‍රා සහ අපද්‍රව්‍යවලින් වැසී තිබිණි.
කුසගින්නෙන් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AFP
සත්ව සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරන 'Four Paws' ජාත්‍යන්තර ආයතනය සිම්බා සහ ලූලා වෙනුවෙන් එහි පැමිණි අතර ඔවුන්ගේ මැදිහත් වීම මත සතුන් දෙදෙනා ජෝර්දානය වෙත සඳුදා රැගෙන යන ලදී.
නගරයේ නැගෙනහිර කලාපයේ පැවති ගැටුම් හේතුවෙන් 'මොන්ටාසා අල් මොරෝර්' සත්වෝද්‍යානය සම්පූර්ණයෙන් පාහේ විනාශ වී ඇති අතර එහි සිටි සිංහයන්, වඳුරන් සහ හාවන් ඇතුළු සතුන් ප්‍රහාරවලට ලක් වී හෝ කුසගින්න හේතුවෙන් මරුමුවට පත් විය.
ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සතු අවසන් නාගරික බළකොටුව ලෙස සැලකෙන මෝසුල් නගරයෙන් කැරලිකරුවන් පළවා හැරීමේ උත්සාහයක එරට හමුදා යෙදී සිටිති.
මෝසුල් නගර සීමාව තුළ මාස හයක් පුරා පවතින සටන්වලට මැදි වී සාමාන්‍ය වැසියන් ගණනාවක් මරුමුවට පත්ව ඇති අතර තවත් දහස් ගණනක් ප්‍රදේශය හැර පළා ගොස් තිබේ.































