'රසායනික අවි ප්‍රහාරය' ගෙතූ කතාවක් - අසාද්

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිය හමුදා විසින් රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇති බවට පළවන වාර්තා "සියයට සියයක් ගොතන ලද්දක්" බව එරට ජනාධිපති බෂාර් අල් අසාද් පවසයි.
AFP පුවත් සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති අසාද් කියා සිටියේ "එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝගයක් නිකුත් වී නොමැති" බවය.
කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට අප්‍රේල් 04 වෙනිදා එල්ල වූ ප්‍රහාරයෙන් අසූ දෙනෙක් මරුමුවට පත් වූහ.
ප්‍රහාරයට හසු වූ තවත් සිය ගණනක් විෂ රසායන ශරීර ගතවූවන්ගේ දැකිය හැකි රෝග ලක්ෂණවලින් පෙළෙමින් සිටියහ.
රසායනික අවි ගබඩාවක්?
යුද ගුවන් යානා නගරය ඉලක්ක කොට ප්‍රහාර එල්ල කළ බව ඇසින් දුටුවන් කියා සිටි නමුත් රුසියාව පවසන්නේ කැරලිකරුවන්ට අයත් රසායනික අවි ගබඩාවක් ගුවන් ප්‍රහාරවලට ලක් වී ඇති බවය.
තම රට සතුව තිබූ රසායනික අවි සංචිත 2013 වසරේ දී අත්හැර දැමූ බව කී ජනාධිපති අසාද් "අපට රසායනික අවි නැහැ. අප සතුව එවැනි ආයුද තිබුණත් අපි ඒවා පාවිච්චි කරන්නෙත් නැහැ" යනුවෙන් පැවසීය.


























