වැසිකිළියක් මත වසර තුනක්

ඡායාරූප මූලාශ්‍රය, USUKI MUNICIPAL GOVERNMENT
ජපානයේ මහජන වැසිකිළියක අට්ටාලය මත (Loft) ජීවත් වූ පුද්ගලයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ටකාෂි යමනෝචි නමැති මෙම ජපන් ජාතිකයා නිරිතදිග ජපානයේ උසුකි ප්‍රදේශයේ පිහිටි මෙම මහජන වැසිකිළිය වසර තුනක් තිස්සේ සිය වාසස්ථානය කරගෙන ඇත.
'ද මයිනිචි' පුවත් වෙබ්අඩවිය වාර්තාකරන පරිදි, මෙම පුද්ගලයා වැසිකිළියේ අට්ටාලය මත සිටින බව සොයා ගනු ලැබ ඇත්තේ එහි අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණි විදුලි කාර්මිකයෙකු විසිනි.
මීට පෙර එම වැසිකිළි අට්ටාලයේ ජීවත් වූ තැනැත්තා වෙනත් ස්ථානයක පදිංචියට යාමෙන් අනතුරුව තමා එම ස්ථානයට පැමිණි බව ටකාෂි යමනෝචි පොලිසියට පවසා ඇත.
මුත්‍රා රැස්කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගෑස් උඳුනක්, විදුලි තාපකයක් සහ ඇඳුම් පැළඳුම් සහිත මෙම 'අට්ටාල නිවස' මනා පිළිවෙළකින් පවත්වාගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය බලධරයෙක් පැවසීය.
ඒ තුළ තිබී ප්ලාස්ටික් බෝතල් 500ක් පමණ සොයාගෙන ඇති අතර ඒවා මුත්‍රා රැස්කිරීම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
චීනයේ බීජිං නුවර පොළොවේ හාරා තිබුණු වළක් තුළ වසර 20ක් ජීවත්වූ කාන්තාවක් සොයා ගත් පුවතක් ද 2013 වසරේ දී වාර්තා විය.























