ස්ටාලින්ගේ මුනුපුරෝ මුත්තා දකින හැටි

අලෙසන්දර් බුර්දොන්ස්කි සහ ජෝසප් ස්ටාලින් -මුත්තා සහ මුනුපුරා
ඡායාරූප ශීර්ෂ වැකිය, අලෙසන්දර් බුර්දොන්ස්කි සහ ජෝසප් ස්ටාලින් -මුත්තා සහ මුනුපුරා
Published

සෝවියට් සංගමයේ හිටපු නායක ජෝසප් ස්ටාලින්ගේ මුනුපුරු අලෙක්සන්දර් බුර්දොන්ස්කි (Alexander Burdonsky )දිවියන් සමු ගත්තේය.

කෘතහස්ත නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ බුර්දොන්ස්කි මරණයට පත්වන විට හැත්තෑ පස් වැනි වියේ පසුවිය.

අලෙසන්දර් බුර්දොන්ස්කි 1941 වසරේ උපතින් ලද නාමය "අලෙක්සන්දර් ස්ටාලින්" වූ නමුත් ඔහු සිය මුත්තා වූ ජෝසප් ස්ටාලින් සමඟ ඇති ජීවිත සම්බන්ධය වසංකර ගැනීම සඳහා තම මවගේ වාසගම තෝරා ගනිමින් පසු කාලයෙහි "අලෙසන්දර් බුර්දොන්ස්කි" යන නමින් පෙනී සිටියේය.

ඔහු වසර කීපයක් මොස්කව් අගනුවර යුද හමුදා රංග ශාලාවේ ප්‍රධානියා විය.

ස්ටාලින්ගේ තවත් මුනුපුරකු වූ යෙව්ගිනි ද්ෂුගාස්වෙලි(Yevgeny Dzhugashvili) වසර 80ක් ජීවත්ව පසුගිය වසරේ අභාවප්‍රාප්ත විය.

අලෙක්සන්දර් මෙන් නොව යෙව්ගිනි ද්ෂුගාස්වෙලි සිය මුත්තනුවන් වූ ස්ටාලින්ගේ උරුමය දැඩිව ආරක්ෂා කළ මුනුපුරෙකි.

ඔහු දිගටම භාවිතා කළේ මුත්තාගෙන් උරුම වූ "ද්ෂුගාස්වෙලි" නම් ජෝර්ජියානු වාසගමයි.

ස්ටාලින් ක්‍රේම්ලිනයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටාලින් ක්‍රේම්ලිනයේ

අලෙක්සන්දර් බුර්දොන්ස්කිගේ පියා වූ වසිලි ස්ටාලින් සහ ඔහුගේ පියා වූ ජෝසප් ස්ටාලින් අතර යහපත් සම්බන්ධතාවයක් තිබී නැත.

වසිලි මත්පැනට ඇබ්බැහිව සිටි අතර වයස අවුරුදු හතළිහේ දී දිවි ගමන නිම කළේය.

අලෙක්සන්දර් බුර්දොන්ස්කි රුසියාවේ රුපවාහිනී වැඩ සටහනක දී සිය මුත්තණුවන් පිළිබඳ මතකය අවදි කරමින් වරක් මෙසේ සඳහන් කර තිබුණි.

" මැයි මාසයේ සහ නොවැම්බර් මාසයේ පෙළපාලි වලදී මම ඔහු දැක තිබෙනවා. එත් මම ඔහු ලඟින්ම දුටුවේ මියගොස් වැතිර සිටින විටයි"

තම ළමාවිය කිසිම ළමයකුට උරුම විය යුතු නැතැයි මෙයින් වසර දෙකකට පෙර ප්‍රකාශ කළ අලෙක්සන්දර් බුර්දොන්ස්කි සිය වාසගම වෙනස් කර ගනිමින් කලාව සඳහා කැපවිය.

ස්ටාලින් සිය දියණිය වන ස්වෙත්ලානා සුරතල් කරමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටාලින් සිය දියණිය වන ස්වෙත්ලානා සුරතල් කරමින්

තවත් වරක් සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දැක්වූ අලෙක්සන්දර් බුර්දොන්ස්කි, සිය මුත්තා වූ ජෝසෆ් ස්ටාලින් ෂේක්ස්පියර් නාට්‍යයක එන ප්‍රබුද්ධ සහ උමතුව මිශ්‍ර චරිතයකට සමාන කළේය.

තරුණයකු හැටියට ස්ටාලින්ට දැඩිව එරෙහි වූ අලෙක්සන්දර් බුර්දොන්ස්කි, සිය මුත්තණුවන් කෘර ඒකාධිපතියකු වූයේ නමුත් ඔහු විසිවෙනි සියවසේ අතිබලසම්පන්න නායකයකු හැටියට ද දුටුවේය.

එහෙත් 2016 වසරේ මරණයට පත් යෙව්ගිනි ද්ෂුගාස්වෙලි ස්ටාලින් දකින්නේ සහමුලින්ම වෙනස් ආකාරයකටයි.

ගෝරි (Gori ) නගරයේ ස්ටාලින් පිළිරුව 2010 වසරේ ඉවත් කළ මොහොත - ගෝරි ඔහුගේ ජන්මභූමියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගෝරි (Gori ) නගරයේ ස්ටාලින් පිළිරුව 2010 වසරේ ඉවත් කළ මොහොත - ගෝරි ඔහුගේ ජන්මභූමියයි.

රුසියාවේ නිදහස් පුවත්පතක් වරක් ජෝසෆ් ස්ටාලින් හඳුන්වා දී තිබුණේ ලේ පිපාසයෙන් පෙළුන මිනීමස් බුදින්නකු හැටියටයි.

සිය මුත්තණුවන්ට කරන ලද අපහාසයෙන් කිපුණ යෙව්ගිනි ද්ෂුගාස්වෙලි එම පුවත්පතට එරෙහිව මානව හිමිකම් පිළිබඳ යුරෝපා උසාවියේ නඩු පැවරූ නමුත් ඔහු එම නඩුවෙන් පරාජය විය.