"උෂ්මා! භාරත දියණිය ගෙදර එන්න!"

උෂ්මා සිය මව්බිම ඉන්දියාව බලා ආපසු යමින්

ඡායාරූප මූලාශ්‍රය, Ravinder singh robin

ඡායාරූප ශීර්ෂ වැකිය, උෂ්මා සිය මව්බිම ඉන්දියාව බලා ආපසු යමින්
Published

"උෂ්මා! භාරත දියණිය! ආපසු ගෙදර එන්න.ඔබට මුහුණ පෑමට සිදු වූ දෙය ගැන මට කනගාටුයි!"

මෙය සමාජ මාධ්‍ය ජාලයේ පළ වූ 'ට්විටර්' පණිවුඩයකි.

එය ලියා ඇත්තේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් විසිනි.

එම පණිවුඩයේ අරමුණ පාකිස්තාන් ජාතිකයකු විසින් බලහත්කාරයෙන් විවාහ කර ගන්නා ලද ඉන්දියානු තරුණියක් ආපසු සියරට ගෙන්වා ගැනීමයි.

මෙය ඉන්දියාවේ මුල්පෙළේ දේශපාලනඥයකු විසින් එවැනි පණිවුඩයක් නිකුත් කරන ලද විරල අවස්ථාවකි.

උෂ්මා ප්‍රකාශ කරන ආකාරයට ඇය බලහත්කාරයෙන් විවාහ කරගත් පාකිස්තාන් ජාතිකයා ඇයට මුණගැසී තිබෙන්නේ මැලේසියාවේදීය .

තාහීර් අලි නම් පාකිස්තාන් ජාතිකයා සමඟ එම හමුවේදී පෙමින් බැඳුන උෂ්මා පසුව පාකිස්ථානයට ගොස් ඔහු හමු වී ඇත.

එම ගමනේදී තාහීර් අලි තුවක්කුවක් පෙන්වා තමා බියපත් කොට විවාහ කරගත් බව උෂ්මා පවසන්නීය.

එසේම එම පුද්ගලයා තමාට ශාරීරික සහ ලිංගික වධ හිංසා සිදුකළ බවත් ඇය පාකිස්තාන් බලධාරීන්ට පැමිණිලි කළාය.

තාහීර් අලි තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ උෂ්මා පාකිස්ථානය විග්‍රහ කළේ 'මාරක උගුලක්' හැටියටයි.

"මට යෝජිත විවාහ අනුව පාකිස්ථානයට කසාද බැඳපු කාන්තාවන් හමුවුනා. ඒගොල්ලන්ගේ තත්වය හරිම කාලකන්නි එකක්. ඉතාම බිහිසුණු තත්වයක් තුලයි ඔවුන් ජීවත් වන්නේ.හැම ගෙදරකම වගේ භාර්යාවන් දෙන්නෙක් තුන් දෙනෙක් නොවෙයි,හතර දෙනෙක් ඉන්න ගෙවලුත් මම දැකල තියෙනව" උෂ්මා පැවසුවාය.

"තව දවස් දෙක තුනක් පාකිස්තානයේ හිටියනම් මම මැරෙන්න තිබුණා" ඇය පවසන්නීය.

තමාට පාකිස්තානයෙන් පිටවිය නොහැකි මට්ටමින් තාහීර් අලි සිය ගමන් බලපත් සඟවා තබා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

විදේශ ඇමතිනී සුෂ්මා ස්වාරාජ්ගේ ට්විටර් පණිවුඩය

ඡායාරූප මූලාශ්‍රය, Sushma swaraj

ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශ ඇමතිනී සුෂ්මා ස්වාරාජ්ගේ ට්විටර් පණිවුඩය

පසුගිය මැයි දොළොස් වෙනිදා ඉස්ලාමාබාද් මහාධිකරණයේ නඩුවක් ගොණු කළ උෂ්මා තාහීර් අලිගෙන් තමාට එල්ල වෙන අතවර පිළිබඳව උසාවියට දැනුම් දී ඇත.

තාහීර් අලි දරුවන් ද සිටින විවාහකයකු බව තමා දැනගත්තේ ඔහු තමා බලහත්කාරයෙන් විවාහ කර ගැනීමෙන් පසුව බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

උෂ්මාට කලින් විවාහයකින් ලද පස් හැවිරිදි දියණියක් සිටින අතර තැලසීමියානු(thalassaemic) ව්‍යාධියෙන් පෙළෙන එම දැරියට නිරන්තරයෙන් රුධිර පාරවිලයනය සඳහා ඇයට ආපසු ඉන්දියාවට යාමට අවසර දෙන මෙන් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා උසාවියෙන් ඉල්ලීමක් කළේය.

අනතුරුව ආපසු ඉන්දියාවට යාම සඳහා උෂ්මාට අවසර ලැබුණ අතර පාකිස්තාන් නිලධාරීන් ඇය දේශ සීමාවට ගෙනැවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට භාර දී ඇත.

මේවනවිට ඇය දිල්ලි නගරයට ලඟා වී සිටින්නීය.

මෙම ආරාවුල කරළියට පැමිණියේ කාශ්මීර අර්බුදය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර හොඳහිත පිරිහී පවතින මොහොතකයි.