"බුද්ධිමතා" යෙදුම ශිෂ්‍යාවන් "හුදෙකලා කරනවා"

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

"ශ්‍රේෂ්ඨ බුද්ධිමතා" (genius) "අති දක්ෂ" (brilliant) සහ "සහජ දක්ෂතාවය" (flair) වැනි යෙදුම් මගින් ශිෂ්‍යාවන් හුදෙකලා කිරීමට ඉඩ තිබෙන බැවින් එවැනි යෙදුම් භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක පවසයි.

එවැනි යෙදුම් මගින් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධ පූර්ව නිගමණ පිළිබඳ ඉඟියක් පළවන බව ද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ ප්‍රතිපත්ති පිළිබඳ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ලුසී ඩෙලප් පවසන්නීය.

ශිෂ්‍යයන් සම්බන්ධයෙන් එවැනි විශේෂණ පද යොදා ගනු ලැබුවත්, ශිෂ්‍යාවන් තමන් සම්බන්ධයෙන් එවැනි ආකල්පයක් දැරීම ඉතා දුර්ලභ බවත් ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල "පුරුෂාධිපතිවාදී පරිසරය" වෙනස්විය යුතු බව ආචාර්ය ලුසී ඩෙලප් ගේ අදහසය.

බීබීසී Radio 4 ගුවන් විදුලියේ 'Today' වැඩසටහන සමග අදහස් දැක්වූ ආචාර්යවරිය, "උදාහරණයක් විදියට විශ්වවිද්‍යාලයේ බිත්තියක ඇඳලා තියෙන රූ සටහන් බැලුවත්, ඒවා පුරුෂයන් ගැන පුරුෂයන් විසින් කරපු කලා නිර්මාණ. අනික ඒවා බොහොමයක් සුදු ජාතික පුරුෂයන් ගැන," යනුවෙන් සඳහන් කළාය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එබැවින් එයට වඩා "බහු විධ පරිසරයක්" තුළ තමන් ද ශක්තිමත් හෝ දක්ෂ චරිතයක්ය යන්න බොහෝ දෙනාට හැඟී යන බවත් ආචාර්යවරිය පවසයි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂයය නිර්දේශය නැවත විමර්ශනයකට ලක් කෙරෙමින් පවතින අතරවාරයේ එම අදහස් පළ කළ ආචාර්යවරිය, ඉතිහාස විෂයය නිර්දේශයට ඇතුලත් ග්‍රන්ථ අතරට දැනට වඩා කතුවරියන්ගේ ග්‍රන්ථ ඇතුළත් විය යුතු අතරම කාන්තාවන්ගේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට දැනට වඩා අවස්ථාව තිබිය යුතු බවත් කියා සිටියාය.

"තමනුත් ඇති සාර්ථක පුද්ගලයන් කියල විශ්වාස කරමින් සාර්ථකත්වය සඳහා කාන්තාවන් දිරිගන්වන පරිසරයක් නිර්මාණය කරන්න අපිට අවශ්‍යයි," ඇය සඳහන් කළාය.

ඒ සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පළමු දෙවසර සඳහාවන විෂයය නිර්දේශය සංශෝධනය කරන බව ද ආචාර්යවරිය සඳහන් කළාය.

ආචාර්ය ලුසී ඩෙලප් එම අදහස් පළ කළේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම පිණිස කළු ජාතික ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කිරීමේ අරමුණින් කළු ජාතික සිසුන් 14 දෙනෙකු විශේෂ ඡායාරූපයකට පෙනී සිටීමෙන් මාසයකට පසුවය.

සිය ගොඩනැගිලිවල දැනට වඩා කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පසුගිය අප්‍රේල් මාසයේ නිවේදනය කළේය.