මොසූල් සටන; IS කැරලිකරුවෝ නගරයේ කොටු වෙති

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉස්ලාම් රාජ්‍ය(IS) කැරලිකරුවන් මොසූල් නගරයේ රැඳී සිටින අන්තිම බිම්කඩත් අල්ලා ගැනීම සඳහා ගෙනයන දරුණු සටන් වලින් ඔවුන් අත පැවති තවත් ප්‍රදේශ අත්පත් කර ගැනීමට හැකි වූ බව ඉරාක් යුද හමුදාව පවසයි.
මොසූල් නගරයේ පැරණි කොටසේ වයඹ දෙසින් පිහිටි කලාපයක් මේවනවිට යළි තම පාලනය යටතට ගෙන ඇති බවත් ඉරාක් හමුදා කියා සිටියි.
ඉස්ලාමීය රාජ්‍ය(IS) කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර මැඩලමින් ඔවුන් පැරණි නගරයේ කොනකට කොටු කළ බව ඉරාක් යුද හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.
කැරලිකරුවන් කොටු කරනු ලැබ තිබෙන්නේ ඉස්ලාමීය ජිහාඩ්වාදීන් විසින් පසුගිය සතියේ විනාශ කරන ලද 'නූරි'(Nuri mosque) මුස්ලිම් පල්ලියට විරුද්ධ දෙසින් පිහිටි භූමියකටයි.

IS කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් පහර දෙමින් ඇති අතර, මෝටාර් ප්‍රහාර මගින් ද කැරලිකරුවන්ට විශාල හානි සිදු කෙරෙමින් ඇති බව මොසූල් නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසයි.
මරාගෙන මැරෙන ප්‍රහාරකයන් උපයෝගී කර ගනිමින් නගරයේ ස්ථාන රැසක පහරදීම් සිදු කිරීමට කැරලිකරුවන් උත්සාහ ගත් නමුත් තත්වය පාලනය කරන ලද බව ඉරාක් යුද හමුදා ප්‍රකාශනයකින් කියැවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2014 වසරේ IS කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලද මොසූල් නගරය යළි අත්පත් කර ගැනීමේ සටන ඉරාක් හමුදාව විසින් ආරම්භ කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේයි.























