රුසියානු හමුව: "පුතා අහිංසකයි"

Donald Trump Jr and Natalia Veselnitskaya

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් සහ රුසියානු නීතිඥවරිය නතාලියා වෙසෙලින්ස්ක්යා
Published

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර සිය පුතු රුසියානු නීතිඥවරියක හමු වීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාධාරණීකරණය කරයි.

ජනාධිපතිවරයා විසින් සිය පුතු හඳුන්වනු ලැබුවේ "විවෘත, විනිවිද පෙනෙන සුළු සහ අහිංසක" පුද්ගලයෙකු ලෙසය.

ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවේ අදාළ හමුව සම්බන්ධයෙන් සිය පුතු ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් පළ කර පැය කිහිපයකින් අනතුරුවය.

රුසියානුවන් සමග ට්‍රම්ප් ජුනියර් චේතනාන්විතව සහයෝගයෙන් කටයුතු කර ඇති බවට විවේචකයෝ චෝදනා කරති.

එමගින් ඔහු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කර ඇති බව විවේචකයන්ගේ විශ්වාසය වී තිබේ.

හිලරි ක්ලින්ටන්

අපරාධකරුවන් පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයා විසින් සිය පුතු හඳුන්වනු ලැබුවේ "විවෘත, විනිවිද පෙනෙන සුළු සහ අහිංසක" පුද්ගලයෙකු ලෙසය

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් කියා සිටියේ එය කිසිදු හරයකින් තොර හමුවීමක් වූ බවය.

කෙසේ නමුත් එය වෙනත් ආකාරයකින් හැසිරවිය යුතුව තිබුණු බව ඔහු පිළිගත්තේය.

ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් මීට ඉහතදී පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා පිළිබඳ ඇමරිකානු බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට රුසියාව උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූ දා පටන් චෝදනා එල්ල වේ.

ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ජනාධිපති ට්‍රම්ප් පවසන අතර ජනාධිපතිවරණයට බලපෑම් කළ බවට එල්ල වන චෝදනා රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.