ATM යන්ත්‍රයක් උදව් ඉල්ලයි

ඡායාරූප මූලාශ්‍රය, KZTV
ඇමරිකා එක්සත් ජනපදයේ මුදල් නෝට්ටු නිකුත් කරන ATM යන්ත්‍රයක සිර වූ පුද්ගලයෙකු එහි බිල්පත් නිකුත් කෙරෙන තීරුවෙන් උදව් ඉල්ලා සටහන් නිකුත් කිරීමේ පුවතක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ATM යන්ත්‍රයේ මුදල් තැන්පත් කොට ඇති කුටියේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඔහු එහි ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි.
දුරකථනය සිය මෝටර් රථය තුළ දමා යෑම හේතුවෙන් ඔහුට එහි පැමිණි ගනුදෙනුකරුවන්ගෙන් උදව් ඉල්ලීමට සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව ඔහු විසින් යන්ත්‍රයේ බිල්පත් නිකුත් කෙරෙන තීරුව හරහා "මට උදව් කරන්න" යනුවෙන් සඳහන් සටහන් නිකුත් කරනු ලැබ තිබේ.
එසේ කරමින් උදව් ඉල්ලා කෑ ගසා ඇති ඔහු ඉන් නිදහස් කර ගැනීමට කටයුතු යොදා ඇත්තේ ඉන් අනතුරුවය.

ඡායාරූප මූලාශ්‍රය, KZTV
"යන්ත්‍රයෙන් සිහින් හඬක් නිකුත් වෙනවා අපට ඇසුණා. අපි හැමෝම හිතුවේ ඒක විහිළුවක් කියලා" යනුවෙන් පොලිස් නිලධාරි රිචඩ් ඕල්ඩන් පැවසීය.
මුදල් ලබා ගැනීමට පැමිණි එක් ගනුදෙනුකරුවෙකු වෙත නිකුත් කළ සටහනක සඳහන්ව තිබුණේ "අනේ උදව් කරන්න, මම හිර වෙලා ඉන්නේ. ෆෝන් එකත් මා ළඟ නැහැ. කරුණාකරලා මගේ ප්‍රධානියාට කතා කරන්න" යනුවෙනි.
ඔහු නිදහස් කර ගනු ලැබුණේ 'බෑන්ක් ඔෆ් ඇමරිකා' ආයතනයට අයත් ATM යන්ත්‍රයක කුටියේ පැය දෙකකටත් වැඩි කාලයක් ගත කිරීමෙන් පසුවය.
"කාටවත් කරදරයක් නැහැ. නමුත් ATM එකක් ඇතුළේ යමෙක් සිර වී සිටිනවා යළි දකින්න ලැබෙන එකක් නම් නැහැ" යනුවෙන් පොලිස් නිලධාරි රිචඩ් ඕල්ඩන් වැඩිදුරටත් කියා සිටියේය.




























