නව යෞවනයෝ දත්මිටි කන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාසලේ දී හිරිහැරයන්ට ලක්වන, නව යෞවනයේ පසුවන පාසල් ළමුන් වැඩිදෙනෙක් නින්දේ දී දත්මිටි කන බව නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.
බ්‍රිතාන්‍යයේ මුඛ සෞඛ්‍යය පිළිබඳ පදනම ප්‍රකාශයට පත්කර ඇති මෙම වාර්තාවේ සඳහන් වන්නේ පාසලේදී හිරිහැරයට ලක්වන, වයස අවුරුදු 13ත් 15ත් අතර පාසල් ළමුන් දත්මිටි කෑමට පෙළඹීමේ ප්‍රවනතාවය සාමාන්‍ය ළමයෙකුට වඩා හතර ගුණයකින් වැඩි බවය.
එම ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් දක්වන සමීක්ෂණ වාර්තාව පවසන්නේ පාසලේදී හිරිහැරයට ලක්වන සිසුන්ගෙන් 65%ක් නින්දේදී දත්මිටි කන බවය. එසේ නොවන ළමුන්ගෙන් දත් මිටි කෑමට පෙළෙඹෙන්නේ 17%ක් වැනි සුළු ප්‍රතිශතයකි.

මෙම තත්වය පිළිබඳව පාසල් බලධාරීන් දැනුවත් කළ යුතු බවත් ආතතියෙන් සහ කාංසියෙන් පෙළෙන වැඩිහිටියන්ද දත්මිටි කෑමට පෙළඹිය හැකිබවත් සමීක්ෂකයෝ පවසති.
විශේෂඥයෝ පවසන්නේ දත්මිටි කෑම හේතුවෙන් හිසරදය, දත් ගෙවීයාම සහ නිසි නින්න්දක් නොලබන තත්වයක් ඇතිවන බවය.
එමෙන්ම දත්මිටි කන පිරිස වැඩිවීමේ ප්‍රවනතාවක් ද පවතින බව ඔවුහු පවසති.
නව යෞවනයේ පසුවන බ්‍රසීල පාසල් සිසු සිසුවියන් 300ක් යොදා ගනිමින් මෙම නවතම සමීක්ෂණය සිදු කර ඇත.
කෙසේ නමුත් නින්දේදී දත්මිටි කෑම සුව කරගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවතින බව විශේෂඥයෝ පවසති.



























