“රාත්‍රි කාලයේ ගැහැණුන්ගේ කොණ්ඩ කපන අවතාර කල්ලියක්”

සුනීතා දේවිගේ කොණ්ඩය කැපුවේ අවතාරයක්ද?
ඡායාරූප ශීර්ෂ වැකිය, සුනීතා දේවිගේ කොණ්ඩය කැපුවේ අවතාරයක්ද?
Published

කාන්තාවන් සිහිසුන් කරමින් ඔවුන්ගේ කෙස්වැටි කපා ගෙන යන "කොණ්ඩා හොරුන්"පිරිසක් පිළිබඳව ඉන්දියාවේ 'හර්යානා' සහ 'රාජස්තාන්' ප්‍රාන්ත දෙකේ පොලිසිවලට පැමිණිලි ලැබෙමින් ඇත.

එම කාන්තා පැමිණිලි මගින් ප්‍රකාශ වෙන ආකාරයට කොණ්ඩා හොරුන් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී කාලයේ පමණි.

මේ කොණ්ඩා සොරකම පිළිබඳව පළමු වාර්තා ලැබුණේ රාජස්තාන් ප්‍රාන්තයෙනි.

ජූලි මාසයේ ලද රාජස්තාන් වාර්තාවලින් අනතුරුව ඊට සමාන සොරකම් දිල්ලි අගනුවරින් සහ හර්යානා ප්‍රාන්තයෙන් ද වාර්තා වෙයි.

"මගේ මූණට සැර 'ලයිට්' එළියක් එල්ල වුනා.ඒ එක්කම මට සිහි නැති වුනා. පැයකට විතර පස්සේ මට සිහිය ආවම තේරුණා - කවුරු හරි මගේ කොණ්ඩය කපාගෙන ගිහින් කියල" හර්යානා ප්‍රාන්තයේ පනස් තුන් හැවිරිදි සුනීතා දේවි ප්‍රකාශ කළාය.

පසුගිය සතියේ සිකුරාදා මුහුණ දුන් එම සිද්ධියේ පටන් සුනීතා දේවී මානසික කම්පනයකින් පසුවන්නීය.

"මට දැන් නින්ද යන්නේ නැහැ, සිහි කල්පනාව අඩුයි. රාජස්තානයේත් මේ වගේ සිද්ධි වුනා කියල මට ආරංචි වුනා. ඒත් මට මේ වගේ දේකට මුහුණ දෙන්න සිද්ධ වේවි කියල මම කවදාවත් හිතුවේ නැහැ" සුනීතා දේවි වැඩිදුරටත් සඳහන් කළාය.

කොණ්ඩය අහිමි වූ මුනේෂ් දේවි
ඡායාරූප ශීර්ෂ වැකිය, කොණ්ඩය අහිමි වූ මුනේෂ් දේවි

සුනීතා දේවී, ඉතාම කිට්ටු සමාජමය සබඳතා පවත්වා ගෙන යන ගොවි සහ වාණිජ ප්‍රජා කණ්ඩායමක් සමඟ ජීවත් වන කාන්තාවකි.

සුනීතා කරණවෑමී අවතාරයට ගොදුරු වූ දිනයේ පටන් අසල්වාසීහු ඇයට තනි රකිති.

සිය කොණ්ඩය කපා ගත් පුද්ගලයා දිළිසෙන ඇඳුමින් සැරසුණ මහළු තැනැත්තකු බව ඇය පවසන්නීය.

සුනීතා දේවී කියන කතාවට තවදුරටත් සවන් දෙමු.

"ඒ වෙලාවේ මම ගෙදර පහළ තට්ටුවේ තනියමයි සිටියේ . මගේ ලේලිත් මගේ මුනුබුරාත් උඩ තට්ටුවේ හිටියා. මගේ කොණ්ඩය කපා ගත්තේ රාත්‍රී නවයයි තිහට විතර"

එහෙත් කිසිවකු සිය නිවසට පිවිසෙනු හෝ කිසිවක් නෑසුන බව ලේලිය සහ මුනුබුරා පවසති.

සුනීතා දේවිගේ අසල්වැසි කාන්තාවක වන මුනේෂ් දේවි අදහස් දක්වමින්, තමා හෝ වෙනත් අසල්වැසියෙක් සුනීතාගේ නිවස දෙසට යන කිසිවකු නොදුටු බව සඳහන් කළාය.

සිකුරාදා දිනයේ සුනීතාට කොණ්ඩය අහිමි වීමෙන් හරියටම දවසකට පසු සෙනසුරාදා රාත්‍රියේ එම නිවසින් යාර කීපයක් ඈතින් ජීවත් වෙන ආශා දේවි නම් කාන්තාව 'හොල්මන් බාබර්'ට ගොදුරු වූවාය.

වෙනසකට වූයේ එදා පැමිණ ඇත්තේ 'කාන්තා බාබර්' අවතාරයකි.

කොණ්ඩ කපන අවතාර දිල්ලි අගනුවරත්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කොණ්ඩ කපන අවතාර දිල්ලි අගනුවරත්

එම සිද්ධියෙන් පසු ආශා දේවි සහ පවුලේ සෙසු කාන්තාවන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නෑදෑ නිවසකට යැවූ බව ඇයගේ මාමණ්ඩිය වන සුරාජ් පාල් පවසයි.

"ඒ සිද්ධියෙන් පස්සේ ගෙදර ගෑනු සියලු දෙනාම බලවත් චිත්ත පීඩාවකට පත් වුනා. මම ඔවුන්ට කිව්වා - ටික දවසකට උත්තර් ප්‍රදේශ් ගිහින් ඉන්න කියල" සුරාජ් පාල් පවසයි.

සුරාජ් පාල් තව දුරටත් සිද්ධිය මෙසේ විස්තර කරයි.

"වෙලාව රාත්‍රී දහයට විතර ඇති. ආශා එලියට වෙලා ගෙදර වැඩපල කරමින් සිටියා. පැය භාගයක් විතර ගත වුනා . ආශා ගේ ඇතුළට ආවේ නැති නිසා මම ගියා බලන්න. මම යන කොට ආෂා සිහි නැතුව බිම වැටිලා හිටිය. ඇගේ කොණ්ඩය කපල බිම දාල තිබුණා"

ආශාට සිහිය ඒමට පැයක් පමණ ගත වූ බවත් කවුදෝ ගැහැනියක් සිය කොණ්ඩය කපා දැමූ බව ආශා පවසන බවත් සුරාජ් පාල් පවසයි.

ආශා පවසන හැටියට සියල්ල සඳහා ගතව ඇත්තේ තත්පර දහයකටත් අඩු කාලයකි.

'රේවාරි' පළාතේ ගැමිලියක් වන රීනා දේවි විසිඅට හැවිරිදි තරුණ කාන්තාවකි.

" කවුදෝ කෙනෙක් ඇවිත් මගේ කොණ්ඩේ කපා ගත්තේ බ්‍රහස්පතින්දා. මම ගෙදර වැඩ කරමින් හිටියේ. එතකොට මම දැක්කා බළලෙක් වගේ ලොකු දෙයක්. ඊළඟට මට දැනුණා කවුරුහරි මගේ උරහිස අල්ලනවා වගේ. එච්චරයි මට මතක. කවුරු හරි මගේ කොණ්ඩය කපල දාල. සමහරු කියනවා - මම මගේ කොණ්ඩේ කපා ගෙන කියල. මම මොකටද එහෙම කර ගන්නේ?" රීනා දේවි තමා මුහුණ දුන් තත්වය විස්තර කළාය.

කොණ්ඩ කපන අවතාරයකට ගොදුරු වූ සුන්දර් දේවි එදා පටන් නිදි නොලබයි
ඡායාරූප ශීර්ෂ වැකිය, කොණ්ඩ කපන අවතාරයකට ගොදුරු වූ සුන්දර් දේවි එදා පටන් නිදි නොලබයි

සුන්දර් දේවී අවතාරයට ගොදුරු වූ තවත් හැට වියැති ගැමි කතකි. තමා අසල නිවසකට යමින් සිටියදී කවුදෝ කෙනෙක් තම පිටට තට්ටු කළ බවත් හැරී බලන විට කිසිවකු එහි නොවූ බවත් සුන්දර් දේවී පවසයි.

ඇයට මතක එපමණකි.

විසිඅට හවිරිදි රීමා දේවී නම් කාන්තාවගේ කොණ්ඩය කපා දමා ඇත්තේ ඇය ජංගම දුරකතනයට පිවිස අන්තර්ජාල ක්‍රීඩාවක නිරත වෙමින් සිටියදීය.

"මගේ ස්වාමි පුරුෂයයි දරුවොයි ඒ වෙලාවේ ගෙදර හිටිය. මම අන්තර්ජාල 'ගේම්' එකක නිරත වෙමින් සිටිද්දී කවුරුහරි මගේ කොන්ඩෙන් අදිනවා මට දැනුණා. මම හැරිලා බලන කොට මගේ කොන්ඩේ බිම තිබුණා" රීමා දේවී කියන්නීය.

කාන්තාවන් දුෂ්කර පීඩෝන්මාදයට පත්කෙරෙන තවමත් අභිරහසක්ව ඇති මෙම කොණ්ඩා සොරකම් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසියේ ප්‍රකාශකයකු වන රවීන්ද්‍ර කුමාර් පවසයි

පොලිස් ප්‍රකාශකයාට අනුව අදාළ විමර්ශන වලදී අපරාධයක හෝඩුවාවන් දක්නට නොලැබෙයි..

එසේම වෛද්‍ය පරීක්ෂණ අනුවත් අසාමාන්‍ය කිසිවක් තවමත් හෙළිවී නැත.

ප්‍රහාරකයන් දුටු කෙනෙකුත් නැත.

කොණ්ඩ අවතාරයට ගොදුරු වූ දිල්ලි කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කොණ්ඩ අවතාරයට ගොදුරු වූ දිල්ලි කාන්තාවක්

මෙම 'කොණ්ඩා අවතාර' පිළිබඳව දැන් ඉන්දීය සමාජය තුළ විවිධ නිර්වචන ඉදිරිපත් වෙමින් ඇත.

එක් මහළු ගම්වාසියකුට අනුව එය සංවිධානාත්මක කල්ලියක ක්‍රියාවකි.

එය ගූඪ ආගමික පසුබිමක් (tantriks )සහිත සිදුවීම් පෙළක් ලෙස තවත් අය දකිති.

එය අද්භූත සිදුවීම් පෙළක් ලෙස තවත් කාන්තාවක් විස්තර කළාය.

තවත් කෙනෙකුට අනුව "එම කාන්තාවන් අන් ඇයගේ අවධානය දිනා ගනු සඳහා ඔවුන් විසින්ම ඔවුන්ගේ කොණ්ඩා කපා ගෙන" ඇත.

සනාල් එඩමරුකු (Sanal Edamaruku) නම් හේතුවාදියාට අනුව මෙය මිනිසුන් අතර පවතින මනෝ ව්‍යාධීන් (mass hysteria) සම්බන්ධයෙන් කදිම නිදසුනකි.

ඉන්දියාව මෙවැනි කතන්දර බෙහෙවින් වාර්තා කරන සමාජ සංයුතියක් සහිත රටකි.

හැන්දෙන් කිරිබොන ගනදෙවියෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැන්දෙන් කිරිබොන ගනදෙවියෝ

හැන්දෙන් කිරි බොන ගන දෙවි රුවක් පිළිබඳව 1995 වසරේ පැතිර ගිය කතාවකින් සමස්ත ඉන්දියාව උන්මාදයකට පත් විය.

මිනිසුන් සිය ගණනකට පහර දුන් "වඳුරු මිනිසකු" පිළිබඳව 2001 වසරේ දිල්ලි නගරයෙන් කතා පැතිර ගියේය.

ඒවා අතර වඩාත් මිහිරි කටකතාවක් ද සිහිපත් කරමු.

එනම්, බොම්බායේ මුහුදු වතුර පැණිරස වී ඇති බවට 2006 වසරේ පැතිර ගිය කතාවයි.

එම කටකතාව පැතිර යාමත් සමඟ දහස් ගණනක් ජනතාව බොම්බායේ මුහුදු වෙරළ බලා ගමන් ගන්නට වූහ.