"සල්ලි පස්සේ නොදුවන, සල්ලි තමා පස්සේ එන නෙයිමාර්"

"මම කවදාවත් සල්ලි පස්සේ දුවල නැහැ-මම දුවන්නේ පාපන්දුව පස්සේ "
ඡායාරූප ශීර්ෂ වැකිය, "මම කවදාවත් සල්ලි පස්සේ දුවල නැහැ-මම දුවන්නේ පාපන්දුව පස්සේ "
Published

බාසිලෝනා ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජය අත්හරිමින් තමා PSG (Paris St-Germain )ප්‍රංශ පාපන්දු ක්‍රීඩා සමාජයට එක්වුණේ මුදලට ඇති ගිජු භාවය නිසා යයි ඇතැමුන් කල්පනා කිරීම පිළිබඳව කනගාටු වෙන බව ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක නෙයිමාර් (Neymar) පවසයි.

විසිපස් හැවිරිදි වියේ පසුවෙන බ්‍රසීල ජාතික පාපන්දු වීරයා ප්‍රංශ ක්‍රීඩා සමාජයට එක්ව සිටින්නේ පවුම් විසිකෝටියක ((£200m) ) කොන්ත්‍රාත්තුවක් අනුවයි.

එම ක්‍රීඩා කොන්ත්‍රාත්තුව අනුව නේමාර් වසරකට පවුම් කෝටි පහකට ((£40.7m) )ආසන්න ආදායමක් ලබයි.

නෙයිමාර්ට වෙනත් පාපන්දු සමාජයක දී මීටත් වැඩි මුදලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි PSG (Paris St-Germain )ප්‍රංශ පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති නසර් අල් කලයිෆි පවසයි.

නෙයිමාර් වෙනුවෙන් එම ක්‍රීඩා සමාජය විසින් වැය කරනු ලබන මුළු මුදල පවුම් කෝටි හතළිහකි.( £400m.)

ඉලක්කයට පාදය වැඩ කල මොහොතක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉලක්කයට පාදය වැඩ කල මොහොතක්

'ඔබ බාසිලෝනා අත්හැර පැරිසියට පැමිණියේ මුදල් නිසාදැයි' විමසූ විට නෙයිමාර්ගේ පිළිතුර මෙසේ විය.

"මේ සල්ලි කතාව කියන අයට එක දෙයක් කියන්න අවශ්‍යයි. ඔවුන් මගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම කවදාවත් සල්ලි පස්සේ දුවලා නැහැ"

ඔහු තවදුරටත් මෙසේ කියා සිටියි.

"මම සල්ලි පස්සෙම දුවනවා නම් මම ඉන්න ඕන වෙනත් තැනක. වෙනත් රටක වෙනත් ක්‍රීඩා සමාජයක. මට හරිම කනගාටුයි මිනිස්සු ඒ විධියට හිතන ඒක ගැන. ඇත්තෙන්ම, මම PSG ක්‍රීඩා සමාජයට කැමතියි"

PSG පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා නෙයිමාර් වෙනුවෙන් ඉදිරිපත්වෙමින් මෙසේ පවසයි.

"නෙයිමාර් අපේ ක්‍රීඩා සමාජයට එක් වුණේ ඔහු විශ්වාස කරන ක්‍රීඩා ව්‍යාපෘතියක් අනුව සෙල්ලම් කිරීමට. ඔහුට අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩා සමාජයකට බැඳිල අපි දෙන මුදලට වැඩි මුදලක් ලබා ගන්න තිබුණා.ඒක සහතිකයි"

කෙසේවුවද, ලෝක පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩා සමාජයක් විසින් මෙතෙක් ඉදිරිපත් කරන ලද වැඩිම ලංසුව පෙරට තැබුණේ නෙයිමාර් වෙනුවෙනි.

"වටින්නේ මුදල් නොව සම්මානයි -දෙවියන්ට ස්තුතියි"
ඡායාරූප ශීර්ෂ වැකිය, "වටින්නේ මුදල් නොව සම්මානයි -දෙවියන්ට ස්තුතියි"

නෙයිමාර් එක්වීමත් සමඟ PSG පාපන්දු ක්‍රීඩා සමාජයේ මූල්‍ය වටිනාකමත් වැඩි වී ඇත.

"නෙයිමාර් අපට එක්වන විට අපේ මූල්‍ය ශක්තිය ඩොලර් කෝටි සීයයි. දැන් ඩොලර් කෝටි 150 යි" PSG ප්‍රධානී නසර් අල් කලයිෆි පවසයි.

සිය නව ක්‍රීඩා නිවහන වන PSG පාපන්දු සමාජයට එක්වීම සඳහා සිකුරාදා (අගෝස්තු 04) නෙයිමාර් පැරිස් නගරයට ලඟා වුණේ පෞද්ගලික ජෙට් යානයකිනි.

PSG ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජය පතන පාපන්දු ලෝලියෝ ඔහු පිළිගැනීම සඳහා එක්රැස්ව ඔල්වරසන් නගමින් සිටි අතර පැරිස් නගරයේ පිහිටි PSG වෙළෙඳ සැල සිය ආරාධිත නව ක්‍රීඩා විරුවාගේ දැවැන්ත පින්තූර වලින් සරසා තිබෙනු දක්නට ලැබුණි.

බාසිලෝනා සගයන් සමඟ- ස්වාරිස් සහ මෙස්සි
ඡායාරූප ශීර්ෂ වැකිය, බාසිලෝනා සගයන් සමඟ- ලුවිස් ස්වාරිස් සහ ලියොනල් මෙසී සමඟ

නෙයිමාර් ගේ සවිබල පාද ක්‍රීඩා පිටිය පුරා සරමින්, පන්දුව තම පාලනයට ගෙන ගෝලයක් ලබා ගැනීම සඳහා ඉලක්කයට පා පහර එල්ල කරනු ලබන ආකාරය ලෝකය දුටුවේ ඔහුගේ ජන්ම භූමිය වන බ්‍රසීලයේ පැවැත්වුන පසුගිය ලෝක පාපන්දු ශූරතා තරඟාවලියේ දීය.