ජනපති සූමා විශ්වාස භංගයෙන් පදවිය රැක ගනී

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තමාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයෙන් සිය ධුරය ආරක්ෂා කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකොබ් සූමා සමත් විය.
විශ්වාස භංගය සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම රහසිගත එකක් වූ අතර එය ජනාධිපති සූමාට එරෙහිව ගෙනෙන ලද අට වෙනි විශ්වාස භංග යෝජනාවයි.
ඡන්ද විමසීම රහසිගතව පැවති බැවින් පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය ලබා දෙනු ඇති බවට විශ්වාස භංග යෝජනාව ගෙන ආ විපක්ෂ සන්ධානය බලාපොරොත්තු පළ කළහ.
දූෂණ චෝදනා මුල් කර ගනිමින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට එරෙහිව මන්ත්‍රීවරු 198 දෙනෙකු සිය ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ඊට සහාය දක්වා ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 177 කි.
ඡන්ද ප්‍රතිඵලය පිළිගනිමින් අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා නැගූහ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවේ දකුණු අප්‍රිකාවේ ව්‍යාපාර හිමි 'ගුප්තා' පවුලේ උවමනාව අනුව කැබිනට් සංශෝධනයක් සිදු කළ බවට චෝදනා කරමිනි.
එය පක්ෂ දේශපාලනයක් නොව හරි වැරැද්ද අතර ප්‍රශ්නයක් බව විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා මීට ඉහත දී ප්‍රකාශ කළේය.
























