උතුරු කොරියානු අර්බුදය: ඇමරිකානු හමුදාපතිවරයා දකුණු කොරියාවේ

එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ්
Published

උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික සහ මිසයිල තර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද හමුදාපති ජෙනරාල් ජෝසෆ් ඩන්ෆොර්ඩ් දකුණු කොරියාවට පැමිණෙයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ එරට ආරක්ෂක ඇමතිවරයා හමුවී දෙරට අතර පවතින ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු හමුදාපතිවරයා චීනය සහ ජපානය බලා පිටත්ව යනු ඇත.

ඇමරිකානු හමුදාපතිවරයා මේ වනවිටත් ඔසාන් නුවර පිහිටි හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක් නිම කර තිබේ. ඇමරිකානු හමුදා රඳවා ඇති මෙම කඳවුර පිහිටා ඇත්තේ දකුණු කොරියාවේ සෝල් අගනුවරින් දකුණු පෙදෙසට වන්නටය.

දකුණු කොරියාවේ රඳවා ඇති එක්සත් ජනපද හමුදා භටයන්ගේ මුළු ගණන තිස් දහසකට ආසන්න වේ.

ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඇන්ඩර්සන් ගුවන් කඳවුර ගුවාම් දුපතේ පිහිටා තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඇන්ඩර්සන් ගුවන් කඳවුර ගුවාම් දුපතේ පිහිටා තිබේ

ඇමරිකානු භටයන් රඳවා සිටීම දකුණු කොරියාවේ ආරක්ෂාව තහවුරු කෙරෙන වැදගත් සාධකයක් කොට සැලකේ.

එක්සත් ජනපද හමුදාපතිවරයා දකුණු කොරියාවට පැමිණියේ උතුරු කොරියාව සහ ජනාධිපති ට්‍රම්ප් අතර වාග් සංග්‍රාමයක් ඇතිවී තිබෙන අතරතුරය.

එහි දිගුවක් ලෙස උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ඇමරිකානු හමුදා රඳවා ඇති ගුවාම් දූපත දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇති බවය.

ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේ මින් පෙර නොදුටු විරු "විනාශකාරී කොපාග්නියකට" උතුරු කොරියාව මුහුණ දෙනු ඇති බව පවසමිනි.

නමුත් උතුරු කොරියාවේ එකම බලවත් මිත්‍ර රාජ්‍යය වන චීනය, දෙපාර්ශවයෙන්ම සංවරය සහ හික්මීම ඉල්ලා සිටී.

"ඇමරිකානු අධිරාජ්‍යය ඛේදජනක ඉරණමකට" -උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇමරිකානු අධිරාජ්‍යය ඛේදජනක ඉරණමකට" -උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්

පවතින උණුසුම් තත්වය තවදුරටත් උග්‍ර වන අයුරින් "අදාළ සියලු පාර්ශව" සිදු කරන "වචන හුවමාරුව" වහා නතර කළ යුතු බව චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ට්‍රම්ප් දුරකතනයෙන් අමතා පවසනු ලැබූ බව චීන රාජ්‍ය මාධ්‍ය ඊයේ වාර්තා කළේය.

ධවල මන්දිරය නිකුත්කළ නිවේදනයක සඳහන් වුයේ උතුරු කොරියාවේ "කුපිත කරවන සුළු හැසිරීම" නතර විය යුතුය යන තීරණයට එක්සත් ජනපදය සහ චීනය එකඟ වූ බවය.

ට්‍රම්ප් පරිපාලනය "කතාව සහ ක්‍රියාව මීට වඩා හොඳින් පවත්වා ගත යුතු" බවත් එසේ නොකළහොත් "ඇමරිකානු අධිරාජ්‍යය ඛේදජනක ඉරණමකට" මුහුණ දෙනු ඇති බවත් උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දෙරට අතර විරසකය උත්සන්න වන්නට පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ විසින් සිදුකරනු ලැබූ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් දෙකකින් අනතුරුවය.