බාසිලෝනා ත්‍රස්ත ප්‍රහාරයෙන් '13 දෙනෙකුවත් මරුට'

ප්‍රහාරයෙන් තුවාල ලැබූවෝ

ඡායාරූප මූලාශ්‍රය, EPA

Published

ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ පිරිසක් අතරට වෑන් රියක් ධාවනය කරවීමෙන් 13 දෙනෙකුවත් මරුමුවට පත්ව තවත් 80 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

තුවාල ලැබූවන් අතරින් දස දෙනෙකුගේ තත්වය බරපතල බව ද විශ්වාස කෙරේ.

බාසිලෝනාහි ලස් රම්බ්ලස් (Las Ramblas) නම්වූ සංචාරක ප්‍රදේශයකදී වෑන් රථය අධික වේගයෙන් පදිකයන් දෙසට ධාවනය කිරීමත් සමග පිරිසක් රථයට යට වූ අතර, අනෙක් විශාල පිරිසක් ආරක්ෂාව පිණිස අසල ඇති සාප්පු මෙන්ම බොජුන්හල් වෙත දිව ගියහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසින් සලකන බව ස්පාඤ්ඤ පොලිසිය පවසයි.

ප්‍රහාරයට සම්බන්ධ බව සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

Police released this photo of a man alleged to have rented the van

ඡායාරූප මූලාශ්‍රය, SPANISH NATIONAL POLICE/ HANDOUT

ඡායාරූප ශීර්ෂ වැකිය, වෑන් රථය කුලියට ගත් බව සැලකෙන් පුද්ගලයාගේ ඡායාරූපය

ප්‍රදේශයේ උමං දුම්රිය ධාවනය අත්හිටුවන ලෙසත් දුම්රියපොළ වසා දමන ලෙසත් හදිසි සේවා ඉල්ලීම් කර ඇති බව රොයිටර් පුවත් සේවය පැවසීය.

El Pais පුවත්පත පවසන පරිදි පිරිස් වෙත රිය ධාවනය කළ පුද්ගලයා පසුව පාගමනින් පළාගොස් තිබේ.

සංචාරකයන් අතර ජනප්‍රියතම යුරෝපා නගරයකට මේ ප්‍රහාරය එල්ල වූයේ ග්‍රීෂ්ම සෘතුවේ පාසල් නිවාඩු සමයේ නගරය සංචාරකයන්ගෙන් පිරිතිරී තිබියදීය.

පසුගිය වසරේ ජුලි මාසයේ සිට යුරෝපයේ නගර ගණනාවක මහජනතාව වෙතට රථ පදවාගෙන විත් ප්‍රහාර එල්ල කර තිබේ.

ප්‍රහාරය එල්ල වූ ස්ථානය

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඇසින් දුටුවෝ

"පිරිස් වෙතට වෑන් රියක් කඩාවදින ආකාරය මගේ කාර්යාලයේ අය දුටුවා."

"තුන් හතර දෙනෙක් බිම වැටිලා ඉන්නවා මා දැක්කා" යැයි අදාළ ප්‍රදේශයේ සේවයේ නිරත ස්ටීවන් ටර්නර් සඳහන් කළේය.

"එකපාරට මහා පිපිරෙන සද්දයක් ඇහුනා. මුළු පාරේම හිටපු මිනිස්සු කෑගහන්න පටන් ගත්ත. ඒ එක්කම හැමෝම දුවන්න පටන් ගත්ත. මමත් මිනිස්සු දුවන පැත්තට දුවන්න පටන් ගත්ත. පවුල් පිටින් මිනිස්සු කෑගහන්න ගත්ත. තත්පර ගානකින් පොලිසිය එතෙන්ට ආව," යැයි සිද්ධිය ඇසින් දුටු තවත් අයෙක් බීබීසී ය වෙත පැවසීය.

ස්ද්ග්ස්ඩ්

වාහනවලින් එල්ල කළ මාරක ප්‍රහාර

  • 2017 අගෝස්තු 12: ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ චාල්ට්ස්විල් නගරය - උද්ඝෝෂකයන් දෙසට රථයක් පදවාගෙන විත් මිනීමැරීමේ චෝදනාව යටතේ 20 හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් ට නඩු පවරා තිබේ
  • 2017 අගෝස්තු 09 - ප්‍රංශයේ පැරිස් අගනුවර සොල්දාදුවන් පිරිසක් දෙසට පුද්ගලයෙක් වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන විත් 6 දෙනෙකුට තුවාල සිදු කළේය
  • 2017 ජුනි 03 - බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලන්ඩන් පාලමේ ගමන් කරමින් සිටි පදිකයන් දෙසට ජිහාඩ්වාදීන් තිදෙනෙකු වාහනයක් පදවාගෙන ආ අවස්ථාවේ 8 දෙනෙකු මරුමුවට පත්විය
  • 2017 මාර්තු 22 - ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාලම මත ගමන් කරමින් සිටි ජනතාව වෙතට මෝටර් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් සිවු දෙනෙකු මරා දමා පසුව පොලිස් නිලධාරියෙකුට ද පිහියෙන් ඇනැ මරා දැමුවේය
  • 2017 අප්‍රේල් 7 - ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර මහජනතාව දෙසට ලොරියක් පදවාගෙන පැමිණි උස්බෙක් ජාතිකයෙක් 4 දෙනෙකු ඝාතනය කළේය