කෙන්යාවේ ජනපතිවරණ ප්‍රතිඵල අවලංගු කෙරෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කරනු ලැබීය.
පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ දින හැටක් ඇතුළත යළි මැතිවරණයක් පවත්වන ලෙසය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව ප්‍රකාශයට පත් වූ අතර ඒ අනුව අප්‍රිකානු කලාපයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් අවලංගු කරන ලද පළමු රට බවට කෙන්යාව පත් වේ.
කෙන්යාවේ බලය හොබවන උහුරු කෙන්යාටා වැඩි ඡන්ද දාහතර ලක්ෂයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබිණි.
නමුත් එරට විපක්ෂය පවසන්නේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇති බවය.
"ඓතිහාසික දිනයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප මූලාශ්‍රය, EPA
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක රයිලා ඔඩින්ගා කියා සිටියේ "මෙය කෙන්යාවේ ජනතාවට ඓතිහාසික දිනයක්" යනුවෙනි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ඩේවිඩ් මරාගා සඳහන් කළේ අගෝස්තු 08 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුව පවත්වා නොමැති බවය.
තීන්දුව පිළිගනිමින් අධිකරණ භූමිය අවට රැස්ව සිටි විපක්ෂ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා නැගූහ.
ජනාධිපතිවරණය හමුවේ ආරම්භ වූ උද්ඝෝෂණ හේතුවෙන් 28 දෙනෙකු මරණයට පත් විය.



























