කොලොම්බියාවේ ELN කැරලිකරුවෝ සටන් විරාමයකට එකඟ වෙති

Published

කොලොම්බියා ආණ්ඩුව සහ එරට දෙවන විශාලතම කැරලි කණ්ඩායම වන ඊඑල්එන් (ELN) සංවිධානය පළමු වරට තාවකාලික ද්විපාර්ශ්වීය සටන් විරාමයකට එකඟ වූහ.

ඒ අනුව ඔක්තෝබර් 01 වෙනිදා සිට සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිත අතර එය දින 102 ට බලපැවැත්වෙනු ඇත.

සාම සාකච්ඡා ප්‍රගතියක් අත්කර ගන්නේ නම් සහ ගිවිසුම උල්ලංඝනය නොකෙරෙන්නේ නම් ඉහත කී කාලය දීර්ඝ කිරීමේ හැකියාවක් ඇති බව කොලොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් කියා සිටියේය.

සටන් විරාමය පිළිබඳ නිවේදනය කෙරුණේ ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප් වහන්සේ එරට සංචාරය කිරීමට දින දෙකක් තිබියදීය.

'ඓතිහාසික' මොහොතක

කොලොම්බියා ඉතිහාසයේ පෙර නොවූ විරූ මොහොතක ශුද්ධෝත්තම පාප් වහන්සේ එරටට සැපත් වනු ඇති බව ජනාධිපති සන්ටෝස් වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි යොමු:

ෆාක් (FARC) කැරලිකරුවන් මෙන්ම ඊඑල්එන් සංවිධානය ද අඩ සියවසකට අධික කාලයක සිට කොලොම්බියා රජය සමග සන්නද්ධ අරගලයක යෙදුණු කැරලි කණ්ඩායමකි.

මේ වසර ආරම්භයේ දී ෆාක් සංවිධානය ආයුද අත්හල අතර පනස් වසරකට වැඩි කලක් යුද වැදීමෙන් අනතුරුව පසුගිය සතියේ දී දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය.

එම ගැටුම්වලින් දෙලක්ෂ විසි දහසක් පමණ මරණයට පත් වූ අතර හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි විය.