ලන්ඩන් නුවර උමං දුම්රියක 'පිපිරීමක්'

උමං දුම්රියක් තුළ ගිණි ගෙන දැවෙන බාල්දියක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වී තිබිණ

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@RRIGS

ඡායාරූප ශීර්ෂ වැකිය, උමං දුම්රියක් තුළ ගිණි ගෙන දැවෙන බාල්දියක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වී තිබිණ
Published

ලන්ඩන් අගනුවර උමං දුම්රියක "සිදුවීමක්" පිළිබඳව පරීක්ෂණ පවත්වන බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

නිරිත දිග ලන්ඩනයේ පාර්සන්ස් ග්‍රීන් (Parsons Green) උමං දුම්රිය ස්ථානයේ "පිපිරීමක්" හටගත් බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වාර්තා පළවීමෙන් අනතුරුව පොලිසිය සහ ගිලන් රථ එම ස්ථානයට ළඟා වී සිටිති.

පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රිය ස්ථානයේ "සිදුවීමක්" පිළිබඳව පරීක්ෂණ පවත්වන බව ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් (Transport for London) ආයතනය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රිය (Parsons Green) ස්ථානයට ළඟා වී සිටින පොලිසිය සහ ගිලන් රථ

ඡායාරූප මූලාශ්‍රය, ALEX LITTLEFIELD

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රිය ස්ථානයට ළඟා වී සිටින පොලිසිය සහ ගිලන් රථ

උමං දුම්රියක් තුළ ගිණි ගෙන දැවෙන බාල්දියක ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වී තිබිණ. එහෙත් උමං දුම්රිය මැදිරියට බරපතල හානියක් සිදු වී ඇති හැඩක් දක්නට නොලැබේ.

පිපිරීමෙන් අඩුම තරමින් එක් මගියෙකුගේ වත් මුහුණට තුවාල සිදු වූ බව ඇසින් දුටුවෝ පවසති.

සිකුරාදා උදෑසන මගීන් සේවා ස්ථාන කරා ගමන් කරමින් සිටියදී හටගත් පිපිරීමෙන් බියපත් වූ මගීන් හිස හැරුණු අත දුව ගිය අන්දම තවත් සමහරු විස්තර කළහ.

පිපිරීමෙන් බියපත් වූ මගීන් හිස හැරුණු අත දුව ගිය අන්දම

ඡායාරූප මූලාශ්‍රය, ALEX LITTLEFIELD

"පිපිරීමක් කියල විශ්වාස කරන දෙයකින් පස්සේ මිනිස්සු තැති ගනිල උමං දුම්රියෙන් දුවල යන්න පටන් ගත්ත," ඒ අවස්ථාවේ පාසන්ස් ග්‍රීන් උමං දුම්රිය ස්ථානයේ සිටි බීබීසී ප්‍රවෘත්ති නිවේදිකාව රිස් ලතීෆ් (Riz Lateef) කියා සිටියාය.

කාන්තාවකගේ මුහුණ සහ පාද පිලිස්සී තිබෙනු දුටු බව එහි සිටි බීබීසී ප්‍රවෘත්ති නිවේදිකාව සොෆී රේවර්ත් (Sophie Raworth) පැවසීය.

සිදුවීම විස්තර කරන ට්විටර් පණිවුඩයක්

ඡායාරූප මූලාශ්‍රය, @EMMASTEVIE1