නායකයා හෝ උප නායකයා කියන එක එතරම් වැදගත් නැහැ -ලහිරු
පිටියට ගොස් ක්‍රීඩා කරද්දී නායකත්වය හෝ උප නායකත්වය එතරම් වැදගත් නොවන බවත් සියලු දෙනා හොඳින් ක්‍රීඩා කළයුතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව උප නායක ලහිරු තිරිමාන්න පවසයි.
ඔහු මේ බව කියා සිටියේ තමන් පසුගිය වකවානුව තුළ උප නායකත්වයට පත්කර තිබු විට අසාර්ථක වීම පිළිබඳව බීබීසී සිංහල සේවය විමසු අවස්ථාවේදී ය.
"ඔව් ඇත්තටම, 2015, 2016යේ මම උප නායකත්වයට පත්වෙලා හිටිය. හැබැයි, විශේෂයෙන්ම කියන්න ඕන මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. ඉතින් අපි නායකයා හෝ උප නායකයා කියන එක එතරම් වැදගත් නැහැ එකොළොස්දෙනාම පිටියට ගිහිල්ල සෙල්ලම් කරද්දී. අපි කණ්ඩායමක් විදියට හොදින් සෙල්ලම් කළේ නැහැ. අපි ඒක පිළිගන්න ඕන. නැවතත් අපිම තමයි මේ කණ්ඩායම ඉස්සරහට අරන් යන්න ඕනේ." යනුවෙන් ඔහු පැවසීය.
තමන් ලකුණු අතර නොසිටි කාලය තුළ ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වූ විවේචන "වෘත්තීය ක්‍රීඩකයෙකු වශයෙන්" සතුටින් භාර ගත් බවද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව උප නායකයා ප්‍රකාශ කළේය.
"අපිට හැමදාම සාර්ථකව සෙල්ලම් කරන්න බැහැ. ඒ විවේචන මම සතුටින් භාර ගත්ත. නැවතත් පුහුණුවීම් කරලා තමයි එක්දින කණ්ඩායමට ආවේ." යනුවෙන් ඔහු පැවසීය.
උපුල් තරංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කිරීම විශාල අභියෝගයක් විය හැකි බවද ඔහු පිළිගත්තේය.
"උපුල් තරංග සහ මැතිව්ස් ගේ අඩුව අපිට තදින් ම දැනේවි. ඒත් සධීර සහ රොෂේන් ඇවිල්ල ඉන්නවා. ඒගොල්ලන්ට මේක ලොකු අවස්ථාවක් තමන්ගේ දක්ෂතා පෙන්වන්න." යැයි ලහිරු තිරිමාන්න ප්‍රකාශ කළේය.